Friday, February 28, 2014

යහපත ප්‍රමාද කිරීම - මාරයා පිළිබඳ කතාන්දරයකි.


මෙය මරණය හා විනාශයට අධිපති මාරයා පිළිබඳ කතාන්දරයකි.

දිනක් මාරයා තම සේනාධිපතියන් හදිසි සාකච්ජාවකට කැඳවා, ‘ලෝක විනාශය දැනට වඩා වේගවත් කළ යුතුයැ’ යි විධානය කළේය.

‘ලෝකය විනාශය කරා යැවීමේ ලෙහෙසිම ක‍්‍රමය අද අපි තීරණය කළ යුතුයි.’ පැවසූ ඔහු ඒ සඳහා තම යෝජනා ඉදිරිපත් කරන ලෙස තම සෙනවියන්ට කීවේ ය.

පළමුව නැගී සිටියේ වෛරයයි. ඔහු මෙසේ කීය.

‘මම පියාට විරුද්ධව පුතා, ගුරුවරයාට විරුද්ධව ශිෂ්‍යයා, ස්වාමියාට විරුද්ධව සේවකයා සහෝදරයා, එක් ජනවර්ගයකට විරුද්ධව අනෙක් ජනවර්ගය, නැගී සිටීමට සළස්වා මිනිසුන් අවුලවන්නම්.‘

‘ඔව්. දැනටමත් ඔබ එය කරමින් සිටිනවා. මීට වඩා සූක්‍ෂම ක‍්‍රමයක් මට ඕනෑ‘යි මාරයා කීවේය.

දෙවනුව නැගී සිටියේ කාමරාගයයි. ‘මම ආදරය මිනිසුන් අතරින් පිට මං කරන්නම්. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන මට්ටමට පමුණුවන්නම්‘

‘ඔබ එය දැනටමත් කරනු ලබන බැවින් එය අළුත් දෙයක් නොවෙයි’ මට ඔිනෑ අලූත් ක‍්‍රමයක්’’ මාරයා කීවේය.

තුන්වැනුව නැගී සිටියේ බීමත්කමයි. ‘මම මිනිසුන්ගේ සිහි බුද්ධිය විනාශ කරන්නම්. එවිට ඔවුන් දවසින් දවස විනාශය කරා යනවා ඇත’

‘මම සොයන්නේ, ඊටත් වඩා සූක්‍ෂම ක‍්‍රමයක්’ මාරයා නැවත අවධාරණය කළේය.

අවසානයෙහි නැගී සිටියේ මෑතකදී මාර සේනාවට බැඳුන උපසේනාධිපතිවරයෙකි. ඔහු තමා අදහස් කරන ක‍්‍රමය මෙසේ විස්තර කළේය.

‘ මම ධර්ම දේශකයෙකු වී ආගම ධර්මය දේශනා කරන්නම්. මම මහජනයාට පවෙන් වළන්න සිල් රකින්න, යහපත්වන්න විමුක්තිය සඳහා කි‍්‍රයා කරන්න ධර්මානුකූලව ජීවත් වන්න ආදී වශයෙන් දේශනා කරන්නම්’

ඒ අසා මාරයා විමතියට පත් විය. ’මොනවාද ඔබ ඔය දොඩන්නේ? ඕවා අපේ රාජකාරි නොවෙයි.‘යි කීවේය.

‘ඉවසන්න, සවාමීනි. මගේ කතාව තව ඉවර නැහැ’යි ඔහු කීවේය.

‘එහෙම යහපත දේශනා කරලා මම කියන්නම්. ‘ඔබට තව කල් තිබෙනවා. මේවාට ඉක්මන් වන්න ඕනෑ නැහැ. යහපත්ව ජීවත්වීමට යහපත් සමාජයක් අවශයයි. යහපත් රාජ්‍යයක් අවශ්‍යයි යහපත් ආර්ථිකයක් අවශ්‍යයි රටේ සාමය අවශ්‍යයි. එබඳු යහපත් සමාජයක් එන තුරු දැනට ඔබ ප‍්‍රාර්ථනා කළාම හොඳටම ඇති’

එය අසා මාරයාගේ මුවගට සිනාවක් නැගිණ.

‘ඔබ බොහොම හොඳයි. ඔබේ යෝජනාව ඔබ වහාම ලෝකයට ගිහින් කි‍්‍රයාත්මක කර ලෝක විනාශය ඉක්මන් කරන්න‘ යහපත කල් දැමීම මාරයාගේ සියුම් උපක‍්‍රමයකි. ඔබ යහපත කල් දමන හැම විටම මාරයා සතුටු වෙයි.

උපුටා ගැනීම

http://vimukthi.org/vimukthi/writings/14-sinhala-writings/38-sathuta-handuna-ganna

ජීවිතය ගැන අපි දකින විදිය, දන්න දේවල් ගැන අලුතින් හිතා බලන්න වැදගත් වන බොහෝ දේ තියෙන තැනක්.. ගිහින් බලන්න

Monday, February 24, 2014

නිකන් ඉන්නවට ඉලෙක්ට්‍රොනික් - Control LED with Arduino and Processing

පොඩි කාලේ ෆෝමිකා බෝඩ් කවකට්ටෙන් හිල් කර කර අම්ම වැඩට යනකොට ලියල දීල ගෙන්න ගන්න ට්‍රාන්සිස්ටර් ,රෙසිස්ටර් ,කන්ඩෙන්සර් LED,IC ලී මිට තියෙන බවුත් එක යාන්තමට නහය කිට්ටුවට අරන්  හොඳට රත් වෙලාද කියල බලල ඊයම් යාරේ වැඩිය උණු වෙන්න නොදී පරිස්සමට කැලිටික පාස්සගෙන  LED ටික පත්තු වෙනකොට තිබ්බ ආතල් එක... ගෙදර කට්ටියම එනකම් ඉඳල කාමරේ ලයිට් නිවල නිවී නිවී පත්තුවෙන බල්බ් ටික පෙන්නනකොට තිබ්බ ආතල් එක... හප්පා ඉතින් දන්නෝ දනිති...

අවුරදු 15කට විතර පස්සේ පොඩි සර්කිට් වැඩක් කළා...  

Arduino එක ගත්තා. USB කේබල් එකෙන් කනෙක්ට් කළා.  ස්කෙච් එක ලිව්වා(කොපි පේස්ට් කළා ). මවුස් එක ක්ලික් කළා... වැඩේ ඉවරයි..LED ටික පත්තු වෙනවා... ආතල් එක ක්‍ෂණිකයි.. හෙහ් හෙහ්

අතීතය සුන්දරයි හැබැයි දැන් වැඩ ඊට වඩා බොහොම පහසුයි. පොඩි දෙයක් කරගන්න ගිය වේලාවෙන් අලුත් දේවල් ගොඩක් හිතන්න පුළුවන්...ගොඩක් දේවල් කරන්න පුළුවන්.  ඉතින් වඩා හොඳ ඒකද මේකද කියල හිතන එක වැඩක් නැති දෙයක්

හරි මේ පහු ගිය සුමානෙක ගෙදර ඉන්න ගමන් කරලා බලපු පොඩි වැඩක්.. මම මේ ඉලෙක්ට්‍රොනික් අන්සේ වැඩ එච්චර දන්නේ නෑ.. පොඩි කාලේ ආසාවට කළා..  කොම්පුටරයක් ගෙදෙට්ට ගෙනාවත් හරි සර්කිට් වැඩ එහෙමම නතර වුණා.. පස්සේ ටිකක් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට Assembly වලින් port ප්‍රෝග්‍රෑම් කරලා LED පත්තු කරන්න ආස වුනත් පණවගේ තිබ්බ මැසිමට කෙල වෙයි කියල ඒවා ට්‍රයි කලේ නෑ..

දැන් ටික කාලෙකට කලින් ටෙක් කතා එකෙන් ඔය Arduino ගැන කරපු වැඩසටහනක් දැකල Arduino එකක් අරන් මොනවා හරි කරන්න හිතුවත් ඒක හැමදාම කල් ගියා..

මෙහෙ ආවට පස්සේ සෙට් වෙච්ච අලුත් යාලුවන්ගෙන් කෙනෙක් මේ අන්සෙන් සැහෙන වැඩ කරනවා.. එයාගේ බ්ලොග් එක දැකල තමයි මට ආයේ වැඩේ කරන්න හිතුනේ.. මේ තියෙන්නේ ගිහින් බලන්නකෝ

ඉතාලියේ නිෂ්පාදිත ඔර්ජිනල් Arduino එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන්නේ ශසින් ගේ පුංචි බිස්නස් එක. මමත් එයාට කියල ලංකාවෙන්ම තමයි Arduino එක ගෙන්න ගත්තේ..

හරි ඕක ගත්තට මොකද තව පොඩි පොඩි කෑලි බැලි ටිකක් ඕනේ ඕකත් එක්ක වැඩ කරන්න. මම මෙහෙ ඔය ටික ගන්න විදියක් නැතුව ඉන්නකොට ශසින්ම තමයි වයර් කෑලි ටිකකුයි බ්‍රෙඩ් බෝර්ඩ් එකකුයි,  LED, තව ගැජට්ස් ටිකක් දුන්නේ වැඩේ මුලින්ම පටන් ගන්න..

කොහොම හරි එහෙන් මෙහෙන් හොයල LED එක පත්තු කළා.. ඒක හෙන සිම්පල් වැඩක්.. ගුගුල් එකේ පොඩි සර්ච් එකක් දැම්ම ගමන් ඕනේ තරම් විස්තර තියෙනවා.

පස්සේ දවසක මෙහෙ තියෙන මාර්කට් විදියේ ඇවිදලා මම තව ගැජට් ටිකක් ගත්තා.. ඊට පස්සේ තමයි මේ ප්‍රොජෙක්ට් කෙරුවාව පටන් ගත්තේ..

ඔය ගෙනාපු ගැජට් එකක් තමයි මේ අල්ට්‍රා සොනික් සෙන්සර් එක.. එකෙන් කරන්නේ ඔය අධි සංඛාත ශබ්ද තරංගයක් නිකුත් කරලා එකේ පරාවර්තනය වෙලා එන්න ගතවන කාලය මැනලා ඔය එක එක වස්තු වලට තියෙන දුර මනින එක.. ඔය අපි දකින ගොඩක් රෝබෝලගේ තියෙන්නේ ඔය ගැජට් එක..

LED පත්තු කරන එක ටිකක් සීනි බෝල වගේ නිසා (අකුරක් නොදන්නවා උනත් පොර වෙන්න ඕනේ කම නිසා)  අල්ට්‍රා සොනික් සෙන්සර් එකෙන් ම එක සැරෙන්ම වැඩක් කරන්න හිතාගෙන ගුගලයාගෙන් අහල බැලුව.. අපරාදේ කියන්න බෑ.. ඕනේ තරම් කරන්න දේවල් තියෙනවා.

ඔය එක බ්ලොග් එකක තිබ්බා මම ටිකක් දන්න කියන Processing පාවිච්චි කරලා කොහොමද මේ Arduino එකත් එක්ක වැඩ කරන්නේ කියල.


මම දැන් ටික කාලෙකට කලින් අර augmented reality වැඩේ කලේ ඔය Processing පාවිච්චි කරලනේ. මේ තියෙන්නේ ඒ විස්තරේ.. මේ Processing කියන්නේ Massachusetts Institute of Technology එකේ හදපු ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ සරල ප්‍රෝග්‍රෑම් සංකල්ප පාවිච්චි කරලා අපුරු දෘශ්‍ය කලා වැඩ කරන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක්. ප්‍රෝග්‍රෑමින් වල මුලික සංකල්ප දන්න කෙනෙකුට හරිම ලේසියෙන් කරන්න පුළුවන් එකක්. මේකෙන් කරපු අපුරු වැඩ ගොඩක් මෙතන තියෙනවා. Arduino කියන්නෙත් මේ Processing ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරලා හදපු තවත් සොෆ්ට්වෙයාර් එකක් (හාර්ඩ්වෙයාර් එක වෙනස්).


හරි ඉතින් මගේ ළඟ තිබ්බ බඩු කෑලි ටික පාවිච්චි කරලා මම ඕකෙන් ප්‍රොජෙක්ට් 2ක් කළා. එකක් අල්ට්‍රා සොනික් සෙන්සර් එක, Arduino සහ Processing වලින් අනිත් එක Arduino සහ Processing සමඟ LED.

පරිගණකය මගින් පාලනය කරන්න පුළුවන් ගැජට් හදන එක හෙන ජොලි වැඩක්. හෙන හයිටෙක් ගතියක් තියෙනවා එහෙම කරනකොට(මට හිතෙන හයිටෙක්). ඉස්සර නම් එහෙම ගැජට් හදන එක හීනයක් වගේ.. දැන් හැබැයි විනාඩි 10න් ඕනේ කෙනෙකුට ඒවගේ එකක් හදල පොඩි කික් එකක් ගන්න පුළුවන්..

වැල් බයිලා හැටක් විතර කිව්වට කරපු වැඩේ ගැන කිව්වේ නෑනේ..

මෙන්න මේක බලලම ඉන්ටකො..



එක පාරට තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් මම කොම්පුටරේ මවුසා එහෙ මෙහෙ කරන විදියට තමයි අර සයිඩ් එකේ තියෙන LED ටික පත්තු වෙන්නේ..

අපේ අක්කගේ පුතාට මම ඕක පෙන්නුවා.. "ඉතින් ඕක මහ දෙයක් ද නිකන් ලයිට් ටිකක් පත්තු වෙනවා විතරනේ" අවුරුදු 10යෙ එකා ඔන්න දුන්න උත්තරේ..

පස්සේ මම ලැජ්ජාව වහ ගන්නත් එක්ක කිව්වා මට ඕන නම් කාර් එකක් එලවන්න පුළුවන් මේ මවුස් එකෙන් කියල (රිමෝට් කන්ට්‍රෝල්) අන්න එතකොට තමයි පොර පොඩ්ඩක් සැරෙන්ඩර් වුනේ.. හෙහ් හෙහ් හෙහ්..

අර අල්ට්‍රා සොනික් වැඩේ කරපු එක වීඩියෝ කරගන්න බැරි වුණා.. ඒක විස්තර කරන්න දැන් කම්මැලියි පස්සේ කාලෙක එකෙන් වීඩියෝ එකක් හදල දාන්නම්..

කරලා බලන්න කැමති කෙනෙකුට මෙන්න තියෙනව විස්තර
http://www.instructables.com/id/RGBs-with-Arduino-and-Processing/
http://arduinobasics.blogspot.com/search/label/Processing



Sunday, February 16, 2014

ශාරුක් හමුව... Rendezvous with Shahruck Khan

මට කාලයක් මයිකල් ජැක්සන් පිස්සුව තදේට හැදිලා තිබ්බා.. ඒ කාලේ මම හිතුව කවදාහරි මයිකල් ජැක්සන්ගේ ලයිව් ෂෝ එකක් නම් බලන්න යනවමයි කියල.. ඒ කියන්නේ ජිවිතේ කවද හරි කරන වැඩ වලින් එකක් විදියට ඒක මම හිතාගෙන හිටියේ.  අපේ වෙලාවට මයිකල් ජැක්සන් අකාලයේ අපෙන් සමුගත්ත නිසා මගේ ඒ හීනෙත් එහෙමම ඉවර වුණා...

ශාරුක් ඛාන් සහ මයිකල් ජැක්සන් කියන්නේ සමාන කරන්න බැරි චරිත දෙකක් වුණත් අපේ කාලයේ අපිට දැනෙන ලෝකයේ බොහෝ අයට දැනෙන විදියේ දෙයක් කරපු චරිතයක්... අපි සීනි බෝල කෝණයකින් මිනිහ දිහා බලල ගොඩක් වෙලාවට එච්චර ගණන් නොගෙන හිටියට මේ ලෝකයට බලපෑමක් කරන්න පුළුවන් මිනිසුන් 50 දෙනා අතර ඉන්න කෙනෙක්  විදියට Newsweek සඟරාවෙන්  ශාරුක් ඛාන් ව නම් කරලා තිබ්බා.. ඒ වගේම බිලියන ගානක් රසිකයෝ ඉන්න සුපිරි තරුවක් 

නොසිතු වෙලාවක අපි දෙන්නට මේ සුපිරි තරුව සජීවීව දැක ගන්න අවස්තාවක් ඊයේ රෑ උදා වුණා... බට්ටි නංගිගේ සිහින කුමාරයා (මම ඇරුනම) වෙච්ච මේ සුපිරි තරුව හරියටම බට්ටි නගාගෙ උපන්දිනේ දවසෙම දැකගන්න බට්ටි නංගිට ලැබුණු උපන්දින තෑග්ගක් ... එකෙන් මට තැබුණු තෑග්ග ගානකට කෙලවිම වුනත් මගේ සිහින කුමාරියන් දෙදෙනාමත් (ඒ කියන්නේ බට්ටි නගා ඇරුනම ඉන්න හැටක් විතර වෙච්ච හොලිවුඩ්,බොලිවුඩ් ලයින් වලින් 2ක්) මටත් දැක ගන්න අවස්තාවක් උදා වුණා.. හෙහ් හෙහ් හෙහ්

ශාරුක් ඛාන් ,මධුරි ඩික්සිත් සහ රාණි මුකර්ජි  එකම වහලක් යට..  එක ගලෙන් එක කුරුල්ලයි කිරිල්ලියෝ දෙන්නයි.. සෙල්ලන්ද 

මම එළිමහන් සංගීත සංදර්ශන බලන්න මිට කලින් ගිහින් තිබුනේ එක වතාවක් ද කොහෙද.. ඒ ඔය අපේ ගෙවල් පැත්තේ තිබ්බ පොඩි සංගීතයක්... ඉස්සර අපේ ගමේ කොල්ලෝ සෙට් එක ඔය සංගීත සංදර්ශන බලන්න සෙට් වෙලා යනවා.. මට ඒක එච්චර අල්ලලා ගියේ නෑ.. අනිත් එක අපේ අම්ම කොහොමත් ඒ දවස් වල මට ඒවාට යන්න පර්මිෂන් දුන්නේ නෑ.. 

ගෘහස්ත ප්‍රසංග නම් කීපයක් ලංකාවේදී බලල තිබ්බ.. වික්ටර් රත්නායකගේ 'ස' ප්‍රසංගය එකක්.. ලංකාවේ තියෙන අනිත් ගොඩක් ප්‍රසංග ගොඩක් එච්චර එලව එලව බලන්නේ නෑ... කොහෙන් හරි සෙට් උනොත් බලනවා මිසක්...

ජිවිතේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ එවැනි ප්‍රසංගයක අද්දැකීම ඊයේ රෑ ලබා ගත්ත කිව්වොත් නිවැරදියි.. ඒ තරම්ම සුපිරි විදියට තිබුණු ප්‍රසංගයක්.. මිනිස්සු පිස්සු හැදිලා වගේ බලන්න යන්න සජීවී  ප්‍රසංග ටීවී එකේ දකිනකොට ඒක පිස්සුවක් වගේ හිතුනට ඇත්තටම එවැනි අත්දැකීමක් ජිවිතේ ලබන්න ඕනේ මොකද අපි හැමෝගෙම ඇතුලේ රිද්මයට තියෙන ආසාව නිතැතින්ම එළියට එනවා ඒ වගේ ප්‍රසංග වලදී.. ඒක ගෘහස්ත ප්‍රසංගයකින් වත් ගෙදර කන පැලෙන්න සද්දෙට සිංදු දාගෙන ඇහුවත් ගන්න අමාරුයි..

මීට වසර කීපයකට කලින් ලංකාවේදී පවත්වපු Temptation ප්‍රසංගයේදී සිද්ද වෙච්ච අවාසනාවන්ත සිද්දිය නිසා ශාරුක් ඛාන් නැවත ලංකාවේදී ආයේ එහෙම ප්‍රසංගයක් පවත්වයිද කියල ෂුවර් නෑ ඉතින්..

ඉතින් හදිස්සියේම දැනගත්ත මේ අවස්ථාව මිස් කරගන්නේ නැතුව අපි දෙන්න ගියා මේ සුපිරි Temptation Reloaded 2014 ප්‍රසංගය දැක ගන්න. සැහෙන්න දිග පෝලිමක පැයක් විතර ඉඳල කොහොම හරි අපි දෙන්න ඇතුලට පැන ගත්තා. 

මෙතන ඉඳන් විස්තරේ පොටෝ වලින් දාන්නම්..

මේ තියෙන්නේ වේදිකාව වැඩේ පටන් ගන්න කලින්.. අපි හිටියේ පිටිපස්සට වෙන්න ඒ කියන්නේ වේදිකාවෙන් 200m විතර පිටිපස්සේ ඉතින් හරියටම පෙනුනේ නෑ..
මුලින් තිබ්බ මම නම නොදන්නා තව කීප දෙනෙක් ගේ අයිටම් කීපයකින් පස්සේ රාණි නංගි එලියට බැහැපු අවස්ථාව.. ලෙන්ස් එක උපරිමත් සුම් කරලා තව පොඩ්ඩකුත් කරකවල ගත්ත පොටෝ ටික තමා මේ..



මධුරි ගේ ලස්සන



කිං කාන් ගේ පැමිණීමට සැරසීම

කිං කාන් 







 තවත් ඉන්දියානු ගායකයෙක් මම එච්චර දන්නේ නෑ..

 ශාරුක් ඛාන් රසිකයන් සිහින ඉටු කිරීම. පිරිසේ හිටපු ගෑනු ළමයෙක්ව වේදිකාව උඩට ගෙනල්ල ඒ ළමයත් එක්ක බොහොම අපුරු විනාඩි කිහිපයක් ඔහු ගත කළා.. ෆිල්ම් වල විදියට රඟපාමින් මතක හිටින විදියේ දෙයක් ඒ තරුණිගේ ජිවිතයට එක් කරන්න ඔහු සමත් උනා..











ඔහුගේ අත්සන සහිත පොතක්, විශාල චායාරූපයක් සමග තවත් තෑගී කිහිපයක් අවසානයේදී ඒ තරුණියට ලබා දුන්නා... 

ඊට පස්සේ වේදිකාව උඩට ගත්ත කපල් එක.. මේ දෙන්නටත් සිරාම ආතල් එකක් දුන්න.. කොල්ලට කෙල්ලට සලකන්න ඕනේ විදිය උගන්නල අන්තිමට  කොල්ලගේ ඇඟ උඩ ඉදගෙන හෙන විකාරයක් කළා.. හැබැයි හරිම රසවත් විදියට ඒ සියල්ල කළා



කොල්ලගේ ඇඟ උඩ කෙල්ලත් එක්ක සැපට වාඩි වෙලා ඉන්න අවස්ථාව.. හෙහ් හෙහ්

 ඊට පස්සේ අලුත්ම චිත්‍ර පටිය වෙච්ච චෙන්නායි එක්ස්ප්‍රස් එකේ තියෙන මේ ලුන්ගි ඩාන්ස් එක කරන්න රසිකයන් අතරින් තවත් විවාහක පිරිමි කෙනක් ව තොර ගත්තා.. ඒ මනුස්සයට සරමක් අන්ද වල නැටුම උගන්නමින් තවත් අපුරු රංගනයක් ඉදිරිපත් කළා.. 

වේදිකාවට ගත්ත හැමෝටම ඔහුගේ අත්සන සහිත පොතත්, අත්සන සහිත විශාල  පොස්ටරය්කුත් තවත් තෑගී කිහිපයකුත් ලබා දුන්නා

මේ තියෙන්නේ මධුරිත් එක්ක කරපු රංගනය
 මේ රාණි එක්ක

 දෙන්නත් එක්කත් නැටුවා.. 
වියදම් කරපු ගානට පාඩු නෑ කියල හිතෙන අපුරු ප්‍රසංගයක්... මැලේසියාවේ (හිටපු ද ඉන්නද කියල ෂුවර් නෑ)අගමැති මහතීර් මොහොමඩ් මැතිතුමාත් මැලේසියානු රජ පවුලේ සියලු දෙනාත් මේ ප්‍රසංගය සජීවීව බලන්න එකතු වුණා..  මැලේසියාවේදී කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම නම්බු නාමය වන "දාතුක්" කියන එකත් ශාරුක් ඛාන්ට ලැබිල තියෙනවා.. මිනිහ හැබැයි ඒක පොඩි ජෝක් එකක් විදියට ගත්තා ෂෝ එක පටන් ගන්නකොටම.. හෙහ් හෙහ්

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලොවම වසඟ කරන්න පුළුවන් හැකියාවක් අවංකවම ශාරුක්ට තියෙනවා... කුඩා කාලයේදීම අහිමි වූ මා පිය සෙනෙහස නිසා  ජීවිතය ජයගන්න පටන් ගත්ත බිංදුවෙ සිට හිනි පෙත්තටම නැගපු අපේ කාලයේ චරිතයක්..



Tuesday, February 04, 2014

මගේ ප්‍රථම තෙල් සායම් චිත්‍රය...

නිකන් ඉන්න එකේ කාලයක් තිස්සේ කරන්න ආස වෙලා තිබ්බ වැඩක් කරලා බැලුවා.. හරියටම කිව්වොත් සා.පෙ කාලෙන් පස්සේ මේ වගේ වැඩක් කලාමයි.. ජිවිතේ පළවෙනි වතාවට කැන්වස් එකක චිත්‍රයක් ඇන්දා.. චිත්‍රයක් කිව්වට හිතට එන දේ ඔහේ ඇන්දා... තෙල් සායම් පෙට්ටියක් අරන් ඒකෙ තියෙන පාට ගාන්න ආසාවට ඇඳපු බොහොම ප්‍රාථමික මට්ටමේ චිත්‍රයක්..

අහුවෙන අහුවෙන කොලේ කුරුටු ගාන එක නම් මම කවදත් කරපු දෙයක්.. ඔය මම කලින් වැඩ කරපු තැනක හැමදාම තියෙන බොරු මීටින් අස්සේ මම ඔය කුරුටු චිත්‍ර අඳිනවා.. මීටිමට වඩා තේරුමක් තියෙන එකක් මට ඇඳගන්න පුළුවන් ගොඩක් වෙලාවට.. හෙහ් හෙහ්

බිත්ති කුරුටු ගෑමත් එහෙම තමයි.. 

මෙහෙ ආවට පස්සේ සෙට් වෙච්ච අපේ දයාන් සහෝදරයගේ උනන්දුවයි උපදෙසුයි නිසා තමා මටත් මේ තෙල් සායම් කලාවට අත ගහල බලන්න  හිතුනේ... අපරාදේ කියන්න බෑ එකම වහලක් යටින් හොඳම බඩු ගන්න නියම තැනක් ගැනත් ඔත්තුව දුන්නේ දයානයම තමයි..

චිත්‍ර කලාව ගැන ඉගෙන ගත්තේ සාපෙ ට එනකම් විතරනේ. ඉතින් මම  දන්න දෙයක් නෑ... මටම පේන බොහෝ වැරදි තියෙනවා.. කමක් නෑ ඉතින් මගේ ආතල් මට ආතල් නේ කියල  හිත හදාගන්න පුළුවන්..

මුලින් මම ඔය ඉන්ටර්නෙට් එකේ දැකපු තෙල්සායම් චිත්‍රයක් වගේ එකක් අඳින්න හිතාගෙන තමයි වැඩේ පටන් ගත්තේ.. ඉස්සෙල්ලාම හා හපුරා කියල  නිලපාට පොඩ්ඩක් සුදුපාට ටිකක් එක්ක අරන් ගාල බැලුව.. වම් පැත්තේ කෙලවරේ..  ඊට පස්සේ එකට ඔය කළු පොඩ්ඩක් දාල පාට පොඩ්ඩක් වෙනස් කරලා ගහක් දෙකක් ඇඳලා බැලුව.. නිල් පාට පැත්තක් ගානකොට රතු කහ කොල පාට ගෑමේ ආසාවත් ආවා..  එතකොට අර බලපු චිත්‍රෙ විදියට මට අඳින්න බෑනේ.. ඉතින් ඔන්න ඔහේ මට හිතෙන එක මම අඳිනවා මොන වෙඩිමක් ද කියල ඇඳලා දැම්ම..

මේ තියෙන්නේ මුල් හරිය..

මේ වගේ ගස් පේලි දෙකක් තියෙන සොබාවික චිත්‍ර නෑනේ... ඉතින් මේක තනිකරම මගේ ෆැන්ටසි චිත්‍රයක් ..

ඔය තියෙන්නේ මගේ ටෙම්පරි ඉසෙල් එක.. උස ගානට හරි..තව වෙන මොනවාද ඉතින්  හෙහ් හෙහ් 

ඔක්කොම බඩු ගත්තට මම ඉසෙල් (easel )එකක් ගත්තේ නෑ..  මොකද මම ඔය බඩු ගත්තට කවද වෙනකම් මේවා කරයි ද කියල මටම ෂුවර් නෑ.. අන්තිමට ඉසෙල් එකේ ලිපේ දාන්න තමා වෙන්නේ..

හරි දැන් මෙහෙම ගස් පේලි දෙකක් ඇඳට පස්සේ තම කල්පනා උනේ කොහොමද ඉතින් මේකට මොකක් හරි තේරුමක් දෙන්නේ කියල..  

ඕන එකක් වෙන්න කියල  මෙන්න මේ වගේ පාලං කෑල්ලක් ඇඳලා දැම්ම මැදින්.. ඒක පාලමක් කියල කලින්ම කිව්වේ කාටත් තේරුම් ගන්න.. පාලමේ පැති දෙක පාට 2ක් වෙලා තියෙන්නේ ඇයි කියල අහන්න එපා ඒවා එහෙම තමා... 

එතකොට අර පිටිපස්සේ තියෙන අට්ටාලේ මොකක් ද?

දැන් ඔන්න පාළම ඇඳට පස්සේ හිතුනා අර කුමාරිව හිරකරල තියෙන දුෂ්ටයාගේ මාළිගාව වගේ එකක් අඳින්න ඕනේ කියල.. ඉන්ටර්නෙට් එකේ එහෙම එකක් හෙව්වට හරි ගියේ නෑ.. ඕනේ වෙඩිමක් කියල ඇඳපු මාළිගාව තමයි ඔය අට්ටාලේ වගේ පෙන්නේ...

එතකොට අර එක පැත්තක් කහපාට ගාලා  ගම කාලා තියෙන්නේ මොකද?

ඒ ඇවිල්ල ඉරබැස ගෙන යන සැන්දෑ ආලෝකය ගන්න ගිහින් නා ගත්ත අවස්තාවක්.. 

ඔය තරමින් වැඩේ එදා ක්ලෝස් කරලා සති 2 ට විතර පස්සේ  මේ තත්තෙන් ගොඩ දැම්මා..


තාම ඉතින් මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ...

අන්තිමට  බස්ටි නගා උපදෙස් දුන්න තවදුරටත් ඕකට හිතෙන හිතෙන ඒවා කරන්න ගියොත් ඕකේ ගන්න දෙයක් නැතිවෙනවා ඔය හොඳා කියල.. (මම කොහොම කලත් අවසන් තීරණය එන්නේ  එතනින් නිසා )
ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල  ඊයේ මේ ආකාරයෙන් වැඩේ ඉවරයක් කරලා දැම්ම. 


පොටෝ එක අරන් පොඩ්ඩක් පොටෝෂොප් වලින් ඔටෝ කලර් බැලන්ස් කරල ගත්තම මෙන්න මේ වගේ එකක් තමා ඉතිරි උනේ.. හෙහ් හෙහ්


කරුණාකර නොතේරෙන තැන් ගැන ප්‍රශ්න ඇසීමෙන් වලකින්න.. ඒවා එසේ වී ඇත්තේ මන්දැයි මමද නොදනිමි. 

සබ්ජෙක්ට් එක දන්නා ඔබගේ උපදෙස් ලබා දීමට කාරුණික වන්න...   එය මාගේ ආතල් එක තව දියුණු කරගැනීමට මහත් පිටුවහලකි.

කවදා හෝ අඳින තවත් චිත්‍රයකින් නැවත හමුවෙමු..

Friday, January 31, 2014

නිර්මාණාත්මක චින්තනයක් උදෙසා (විද්‍යා) ප්‍රබන්ධ...

විද්‍යා ප්‍රබන්ධ කියවන්න , බලන්න , හීන දකින්න ආස නිසා ලියන සටහනකි. 

එක එක අය රසවිඳින දේ වෙනස්.. ඒ රස විඳින දේ නිසා ලබන තෘප්තියත් වෙනස්... ඒ දේවල් අනිත් අය සමග බෙදා හදාගන්න නිසා අපි අතර හුවමාරු වන දැනුමත් වෙනස්..  සමහර දේවල් ප්‍රයෝජනවත් සමහර දේවල් නිකන් හුදු ආශ්වාදයක් විතරයි.. 

විද්‍යා ප්‍රබන්ධ වල තියෙන්නේ මොනවාද? තනිකර බොරු... මනස්ගාත... විකාර... ඔය එක නිර්වචනයක්.
වර්තමාන සමාජයේ සිදුවන තාක්ෂණික හෝ සමාජීය ක්‍රියාකාරකම් නිසා  අනාගතයේ සිදුවිය හැකි දේ පිළිබඳව සිදුකරන සුභවාදී හරි අසුභවාදී හරි පරිකල්පනයක්.. ඒ තව නිර්වචනයක්..
එහෙම නැත්නම් යම් දෙයක් මෙසේ සිදු නොවී වෙනස් විදියකට සිදු වුවා නම් කුමක් වේද යන්න පරිකල්පනය කර ලියන යම්කිසි ප්‍රබන්දයක් විදියටත් නිර්වචනයක් දෙන්න පුළුවන්... 

සරල උදාහරණයක් විදියට මම මිට අවුරදු 10කට විතර කලින් පරිගණක සඟරාවට එකක් ලිව්වා  සත්තු වෙනුවට ගස් මාරු උනොත් කොහොමට තියෙයි ද කියල.. 

(පොර ටෝක් එකක් : ඒ කතාව පරිගණක සඟරාවේ තිබ්බ විද්‍යා ප්‍රබන්ධ තරගෙකින් දිනලා මට පරිගණක සඟරාවට ලියන්න එන්න කියල ආරාධනාවක් ලැබුණ.. මම ඉතින් කෘතීම බුද්ධිය ගැන පොඩි ලිපයක් ලියාගෙන කර්තෘ තුමා හම්බවෙන්න ගියා. මට ඔය දවස් වල ඔය සබ්ජෙක්ට් එක ගැන හෙන උණ.  කොටින්ම ඕක මම ඉගෙන ගත්ත මගේ ඩිගිරි කටුවට .. හැබැයි ලකුණු අහන්න එපා.. :D

කර්තෘ තුමා ඒක බලල කිව්වා මේ වගේ දේවල් ලියල වැඩක් නෑ.. ඔයා කෘතීම බුද්ධිය ගැන ඒවා පිළිබඳ විසේසන්නයෝ ලියපු ලිපි වාර්තා විදියට ලියන්න කියල...  මට ඒ වැඩේ හිතට හරි  ගියේ නෑ.. මම පරිගණක සඟරාවට ලියන වැඩේ එතැනින්ම අල්ලලා දැම්ම.. )


ගොඩක් වෙලාවට අපිට කියවන්න ලැබෙන්නේ තාක්ෂණික කරුණු මත පදනම් වෙච්ච විද්‍යා ප්‍රබන්ධ නමුත් මට හිතෙන විදියට විද්‍යාව කියන්නේ තාක්ෂනයම නොවන නිසා හැම විද්‍යා ප්‍රබන්දයක් ම ඒ විදියට ලඝු කොට සළකන එක සුදුසු නෑ. උදාහරණයක් විදියට අනාගත ලෝකයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොනවිදියට තියෙයි ද කියන දේ කවුරු හරි පරිකල්පනය කරලා ලියන ප්‍රබන්දයක් ඇතුලේ කිසිම තාක්ෂණික දෙයක් අඩංගු නොවිය හැකියි... 

මම පහුගිය මාසයක් විතර තිස්සේ කරපු දෙයක් තමයි ලෝකයේ මහත් ජනාදරය පත්වෙච්ච ලෝකප්‍රකට Star Wars සහ Star Trek සම්පුර්ණ චිත්‍රපටි ටික බලපු එක.. ඒ කියන්නේ Star Wars එකේ ෆිල්ම්ස් 6යි Star Trek  එකේ ෆිල්ම්ස් 12යි. ඔක්කොම ෆිල්ම් 18යි... (සිං සිං ගාල ඕනේ ෆිල්ම් එකක් බාන්න පුළුවන් කනෙක්ෂන් එකක් තිබීමේ වාසි තමයි ඉතින්)

සැරෙන් සැරේ එහෙන් මෙහෙන් මේවා සමහරක් කලින් බලල තිබ්බට ඔක්කොම පිළිවෙලකට බැලුවට පස්සේ තමයි ඒ කතා නියම විදියට තේරුම් යන්නේ.. 

මේ ෆිල්ම්ස් සීරිස් හදන්න පටන් අරන් තියෙන්නේ 1960-1970 දශක වල.. ඒ කියන්නේ මේ අපි අද දකින තාක්ෂණයේ ළදරු අවදියේදී ..  ඔය ෆිල්ම්ස් ඒ කාලේ කොහොමද හැදුවේ කියල මම වෙනම පෝස්ට් එකක් දාන්නම්.. 

ඔය ෆිල්ම් සීරිස් නිර්මාණය කරපු මිනිසුන්ගේ පරිකල්පන ශක්තිය නිසා අද අපිට ලැබිල තියෙන දේ ගැන හිතා ගන්න හොඳම උදාහරණයක් තමයි මේ තියෙන්නේ

මේ තියෙන්නේ කතාවේ තිබ්බ ගැජට් එක.. ඒ කාලේ මේක තනි බොරුවක් ...

Father of the handheld
The first handheld mobile phone was demonstrated by Dr. Martin Cooper (Born 1928) of Motorola in 1973, using a handset weighing 4.4 lbs. Cooper, then general manager of Motorola’s Communications Systems Division carried the hefty cell phone through New York City and placed a call to his rival, Joel Engels at Bell Labs via a connection to Engels’ land line. Dr. Cooper later revealed that watching Captain Kirk talking into his communicator on the tv show Star Trek inspired him to research the mobile phone.


මේ ඉන්නේ අපි අද ලෝකෙම හොල්ලන්න පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ නිර්මාතෘ 
Dr. Martin Cooper.  මෙතුමා පසුකලෙක සඳහන් කරලා තියෙනව ඔය ස්ටාර් ට්‍රෙක් කතා මාලාවේ බාවිතා කරපු පොඩි තාක්ෂණික ගැජට් එකක සංකල්පයක් එයාව මොබයිල් ෆෝන් එකක් කියන දේ ගැන පරීක්ෂණ කරන්න යොමු කළා කියල.... කොහොමද ඒ පුංචි සිතිවිල්ල අද මුළු ලෝකයක්ම වෙනස් කරගෙන යන හැටි... 

මේ එක එහෙම පිස්සු විකාර සංකල්පයක් යතාර්ථයක් වෙලා ලෝකය වෙනස් කරපු එක උදාහරණයක් විතරයි. තව සංකල්ප දහස් ගානක් තියෙනවා අපිට තාම හිතාගන්නවත් බැරි උදාහරණ විදියට ට්‍රාන්ස්පොටර් කියන සංකල්පය  ඒ කියන්නේ යම් කිසි වස්තුවක් හෝ මිනිසෙක් (සතෙක් හෝ ඕනෙම දෙයක්)  එක තැනක ඉඳන් තව තැනකට ක්ෂණිකව ගෙන යන්න පුළුවන් විදියක්.

මේක කරන විදිය වෙන්නේ අපි තවම නොදත් තාක්ෂණයක් භාවිතා කරලා අවශ්‍ය වස්තුව හෝ ජීවියා සම්පුර්ණයෙන්ම de-materialize කරලා  (ඒ කියන්නේ ඩිමැටීරියලයිස් කරලා ... පැහැදිලියි නේ.. තව පැහැදිලි කලොත් ඒ කියන්නේ  මැටීරියලයිස් කියන වැඩේ අනිත් පැත්තට කරලා... තවත් සරල කලොත් මැටීරියලයිස් කියන වචනේ ඉස්සරහට ඩි අකුරක් දාල  )අවශ්‍ය තැන නැවත ප්‍රතිනිර්මාණය කිරීම වගේ දෙයක්...

ඊළඟට ඔය විද්‍යාව යන්තම් හරි උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත අය දන්න ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ කියන සංකල්පය. මේ විද්‍යා ප්‍රබන්ධ රචකයෝ ඔය සීමාවල් කඩාගෙන ගිහින් අපුරු දේවල් විශ්වයේ කරන්න පුළුවන් කියන හැඟීම අපිට දීල තියෙනවා. ස්ටාර් ට්‍රෙක් එක ෆිල්ම් එකක තියෙනව අනාගතයේ දවසක අපි මුලින්ම ආලෝකයේ වේගය ඉක්මවා ගිය මොහොතේ තමයි අපි කියල සත්තු ජාතියක් මේ විශ්වයේ ඉන්නවා කියල අනිත් බුද්ධිමත් ජීවින් දැන ගන්නේ කියල.. රේඩියෝ සිග්නලුත් සිග්නල් ද අනේ...

(ආලෝකයේ වේගය ඉක්මවන්න බෑ. නිකන් බොරු ටෝක්ස් දෙන්න එපා E=mc2 සමීකරණය අනුව ඕව වෙන්න බෑ.  මල විකාර... කියල හතර වරිගෙටම පලුයන්න බැනපු මිනිස්සුත් ඒකාලේ ඉන්න ඇති.. මේ කාලේ වගේම  )

අපි ඔක්කොමල දන්නවා පුංචි සිතිවිලි වලින් තමයි මුළු ලෝකයම වෙනස් වෙන්නේ කියන දේ. හැබැයි එවැනි නිර්මාණාත්මක සිතුවිලි කෙනෙකුට ඇති වෙන්නේ අපි අපේ අවදානය මොන මොන දේවල් වලට යෙදෙව්වමද? 

නිර්මාණාත්මක සිතුවිලි එන්න විද්‍යා ප්‍රබන්ධම බලන්න ඕනේ නෑ... මම කියන්නේ අද අපි මේ දකින ලෝකේ ගොඩ නගන්න මේ විද්‍යා ප්‍රබන්ධ කරුවන් දක්වපු  මෙහෙය අතිවිශාලයි කියන එක..

සාහිත්‍යය,කලාව,දර්ශණය  ආදී හැම විෂයක්  තුලම මේ නිර්මාණාත්මක චින්තනය තියෙනවා හැබයි ගොඩක් වෙලාවට සමස්ත මිනිසාගේ දියුණුව වෙනුවෙන් කරපු බොහෝ දේවල් වලට මුලික වෙලා තියෙන්නේ මේ විද්‍යාත්මක පරිකල්පනය කියලයි මට හිතෙන්නේ...

අපි ලොකුවට කතා කරන අපේ රටට, අපේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර දක්ෂ අය හිටියත් ඒ මිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නෑ.. කැපිලිමයි තියෙන්නේ... දේශපාලනේට ඔක්කොම යටයි වගේ දේවල්... මේ බ්ලොග් අවකාශේ ඕනේ තරම් ඕව කතා වෙලා තියෙනවා..  හැබැයි මම හිතන්නේ නෑ මේ ලෝකේ අලුත් සංකල්ප නිර්මාණය කරපු හැමෝටම අත දෙන්න කවුරු හරි හිටිය කියන එක. ඔය හැමෝම ඒවා කරන්නේ දහසක් බාධක මැද්දේ තමයි... හැබැයි  කවුරු හරි එහෙම  දෙයක් කළාම ඒ මනුස්සයට කෙළවන ගතිය නම් සමහරවිට අපිට විතරක් තියෙන උසස් ගතියක් වෙන්න පුළුවන් ... හැබැයි එහෙව් රටෙත් මේ වගේ දේවල් කරලා ඉහලට ගිය අය ඕනේ තරම් ඉන්නවා බහුතරයක් නෑ බෑ කිය කිය හතර වටේට බැන බැන හිටියට..

මේ පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ නැගල ගිය වලි දෙකක් (සයිලන්ට් සහන්ගේ කේස් එක සහ න්‍යෂ්ටික ඉංජිනේරු රස්තියාදුකාරයාගේ එක ) කියවද්දී මට හිතුනේ කවදාහරි පොඩි එකෙකුට  කියවල  ටිකක් අමුතු විදියට හිතන්න ඉඩ ලබා දුන්න නිර්මාණශීලි දේවල් තිබ්බ (ඒවායේ  යම් යම් අඩුපාඩු සාධාරණිකරණය කරනවා නෙවෙයි ) බ්ලොග් අඩවි දෙකකට අපේ සම්ප්‍රදායික හුදී ජනතාව විසින් හරි වැරදි කියල දෙනවා නේද කියල... අන්තිමට ඉතින්  හරි දේ විතරක් කරන සර්ව සම්පුර්ණ බ්ලොග් කලාවක් උදෙසා බැති සිතින් කරපු පින්කමක් කියල කට්ටිය සැනසිල්ලේ හිත හදාගමු.. හෙහ් හෙහ් හෙහ් ..

මේ විද්‍යා ප්‍රබන්ධ අස්සට මම ඕක ඇදල ගන්න එක හේතුවක් තමයි අපි පිළිගන්න  අධ්‍යාපනික සුදුසුකම් තියෙන ඒ ඒ අදාළ  අංශවල රැකියාවල් කරන,  උගත් වැදගත් මහත්තුරු නෙවෙයි ගොඩක් වෙලාවට මේ නව සංකල්ප ලෝකෙට දෙන්නේ.. එහෙම මිනිස්සු කරන්නේ තමන්ගේ වැඩේ කරලා කියක් හරි හොයාගෙන සැපට කාල බීල ඉන්න එක..

ඉහත බ්ලොග් දෙකම ලිව්වේ කව්ද කින්ද මන්ද මම කිසි දෙයක් දන්නේ නෑ.. මේක ලියන්නේ ඒ සම්බන්දව මගේ අදහස් කියන්න නෙවෙයි.. රස්තියාදුකාර න්‍යෂ්ටික ඉන්ජිනේරුවාගේ කොලිෆිකේෂන් අහල ඕනනම් දැනුම චෙක් කරලා බලන්නත් ලැස්ති වෙලා හිටපු අය හිටිය කියල මම සමහර කොමෙන්ට් වල දැක්ක.. හැබැයි ඉතින් ඌ මවපු හයිටෙක් රස්තියාදුකාර ප්‍රබන්ධය එතැනින්ම ඉවර වුණා... අනාගතේ ඕක කියවන අපේ පොඩි එකෙක් (විදුර ඒක මකල නොදැම්මොත් ) සමහරවිට කවදාහරි  අම්මටහුඩු මමත්  මේ වගේ වෙලා රස්තියාදු ගගහ  ලැප්ටොප් එකෙන් න්‍යෂ්ටික බලාගාර කොන්ට්‍රෝල් කරන ජාතියේ  පොරක් වෙනවා කියල හීනයක් දකින්න ඉඩ තියෙනවා.. ඒ හීනෙ හැබෑ කරගන්නත් ඉඩ තියෙනවා..

සහන් කියන්නේ කවුද කියන එක මම අදටත් දන්නේ නෑ.. මට එක කවදාවත් වැදගත් වෙන්නෙත් නෑ... නමුත් සහන් ලියපු දේවල් වල ලොකු දැනුමක් තිබ්බා. ඒ දැනුම 100% නිවැරදි නොවෙන්න පුළුවන් හැබැයි දැනුම හොයන කෙනෙකුට හොඳ ආරම්භයක් විදියට ගන්න බොහෝ දේ එකේ තිබ්බා.. සහන් ඒවා ලිව්වේ මෙහෙමයි.. මේකයි මෙයා මෙච්චර කල් කලේ වගේ ජාතක කතා හොයන්නේ නැතුව කෙනෙක් ඒවායින් යමක් අරගෙන මොනවහරි අලුතින් හිතන්න ඉඩ තිබුන කියල මම නම් හැමදාම විශ්වාස කරනවා..

මට හිතෙන්නේ අපි තාම දේවල් තේරුම් ගන්නේ දත්ත ලෙවල් එකෙන්  ඒ කියන්නේ 2+2=4 යි කියන මට්ටමේ ඉඳන්. කවුරුහරි එකෙක් දෙකයි දෙකයි එකට එකතු කළාම පහයි කියල කිව්ව ගමන් ඌට කෙලවන්න බලාගෙන ඉන්න මට්ටම. යම් දෙයක තියෙන සංකල්පය තේරුම් අරන් එකෙන් තව දෙයක් අලුත් විදියට හිතන්න අපි තාම පුරුදු වෙලා නෑ....සහන් සහ විදුර ලියපු දේවල් වල සංකල්ප විදියට ගන්න බොහෝ දේ තිබුනා කියල මම හිතනවා...  අර හරි වැරැද්ද පෙන්නපු ගොඩක් අය ලියන කුණුහරුප ආතල් වලට වඩා..

උඹල දෙන්නම ආයේ ලියනවට මම නම් බොහොම කැමතියි...

අපි වගේ අයට තියෙන ලොකුම සහ එකම හීනෙ තමයි සල්ලි ටිකක් හොයාගෙන ,ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඔහේ ඉන්නවා කියන එක..  ( මමත් ඇතුළුව ) ඔය හීනෙ අපිට ඉෂ්ට කරගන්න පුළුවන් විදී ගොඩක් තියෙනවා.. එකක් කොහෙන් හරි ඉගෙන ගත්ත දෙයක් රස්සාවක් විදියට ඔහේ කර කර ඉඳල මැරිලා යන එක.. අනිත් එක තමන් විසිනුත් අලුතින් මොකක් හරි කරලා එකෙන් තමනුත් හැදිලා තව මිනිස්සුන්ට හැදෙන්න මාර්ගයක් සලස්සල දීල මැරිලා යන එක...

හරි ඉතින් ඕව කරන්න විද්‍යා ප්‍රබන්ධම බලන්නම ඕනේ නෑ තමයි. හැබැයි පොඩ්ඩක් ඔය ඔළුවල පුස්කකා තියෙන යල්පැනගිය අදහස් ටිකට පොඩි ඔයිල්පාරක් දාගන්න පුළුවන් මේ වගේ කතාවක් දෙකක් බැලුවම... මොකද යටගිය දවස හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ සිද්ද වෙච්ච දේවල් වලට වඩා වෙනස් දේවල් දැන් දැන් ලෝකේ සිද්ද වෙන නිසා.. 





Saturday, January 04, 2014

වීදී චිත්‍ර - Street Arts

වීදී චිත්‍ර කියන්නේ හරි අපුරු කලාවක් ... ලෝකේ පුරා අතිශය ජනප්‍රිය මේ කලාව විවිද රටවල විවිද විදියට නිර්මාණය කරලා තියෙනවා ... බොහෝවිට පාරවල් වල ඇඳපු ත්‍රිමාණ චිත්‍ර අපි හැමෝම වගේ දැකල ඇති ඔය එක එක වෙබ් සයිට් වලින් එහෙම ... ලංකාවේ දියවන්නා උද්‍යානයේ ඒ වගේ ත්‍රිමාණ දිය ඇල්ලක් ඇඳලා තියෙනවා..  ගොඩක් අය දැකල ඇති ඒක නම්...  මේ විදී වල එක එක නිර්මාණ කරන එක මම හිතන්නේ ටිකක් පරණ  කලාවක්...විකිපීඩියා එකේ තියෙන්නේ මෙහෙම   .  මග තොටේ යන එන මිනිස්සුගේ හිතට අපුරු හැගීම් එකතු කරන්න මේ විදී නිර්මාණ උදව් වෙනවා කියල මට හිතෙනවා... 

ලංකාවේදී අපි මේ විදී කලාව බොහෝ විට දකින්නේ චන්දෙ කාලෙට තාප්ප වල තමා.. හෙහ් හෙහ් ... පහුගිය සතියේ අපි පොඩි ට්‍රිප් එකක් ගියා ... මැලේසියාවට අයිති එක දුපතක් වෙන Penang වලට... ... විදේශ ආක්‍රමණ වල ප්‍රතිඵල විදියට ලැබුණු පෞරාණික බවක් තියෙන කුඩා දුපතක්... අපේ ගාල්ල නගරය වගේ පෞරාණික අතින් ..  ඒ වගේම නුවරයි ත්‍රිකුණාමලේයි එක ළඟ තිබුනානම් තියෙන කඳුකර මුහුදුබඩ ස්වභාවයකුත් තියෙනවා 

මේ දුපතේ එක නගරයක් තියෙනවා George Town කියල..  මේ නගරය මුහුදුබඩ තියෙන මේ දුපතේ ප්‍රධානම ස්ථානයක්..  මෙහි තියෙන විශේෂත්වය තමයි තනිකරම ගාල්ල වගේ ගෘහනිර්මාණ ලක්ෂණ තියෙන.. (චයිනිස් පන්සල් අරුණු විට) පෞරාණික බව සහ නගරය පුරා තියෙන කුඩා විදී වල ඇඳලා සහ නිර්මාණය කරලා තියෙන අපුරු විදී චිත්‍ර... මේ චිත්‍රවලට ගොඩක් වෙලාවට තේමාව වෙලා තියෙන්නේ කුඩා ළමයින් සහ විනෝදකාමී ස්වරූපයකින් තියෙන කාටුන් වගේ නිර්මාන..  හැම නිර්මාණයක් වගේම කරලා තියෙන්නේ පාර අයිනේ තියෙන ගොඩනැගිලි වල බිත්ති වල.. බොහෝ විට බිත්තියේ තියෙන යම් සිදුරක්, ජනේලයක්  අදාළ කරගෙන යම්කිසි තේරුමක් එන විදියට තමයි ගොඩක් ඒවා කරලා තියෙන්නේ..

මේ තියෙන්නේ මම එහෙ මෙහෙ ඇවිදිනකොට ගත්ත පින්තුර ටිකක්.. 


 මෙම නිර්මාණ කම්බි යොදා නිර්මාණය කර ඇත..

 මේ ඔන්චිල්ලාව පදින ළමයින්ගේ ඔන්චිල්ලාව යකඩින් හදල ළමයි දෙන්නව බිත්තියේ ඇඳලා තියෙන්නේ..


 බාස්කට් එකයි කණුවයි යකඩ
ජනේලෙ ඇත්ත එකක් ෆයර් ෆයර් කියල හදල තියෙන්නේ යකඩ වලින්.... (යකඩ කිව්වට යකඩම නෙවෙයි.. කලුපාට ලෝහයක්.. :D)
 යකඩින් කරපු තවත් අපුරු කාටුන් එකක්..
 මැකී ගිය චිත්‍රයක්...
වහපු ගේට්ටුවක ඇඳලා තියෙන චිත්‍ර ටිකක්...
 පිටිපස්සේ තියෙන අමුතු පුසා තමයි චිත්‍රෙ

 තවත් යකඩ නිර්මාණයක්...

 වහලෙන් බහින මීයෙක්..


 ටකරමක ඇඳපු පුසෝ ටිකක් කුඩේ ඇත්ත එකක්

 මේක තනිකරම යකඩ වලින් හදපු කණුවක්
 ඇත්තම බයිසිකලයක්  බිත්තියට හයිකරලා ළමයි දෙන්න බිත්තියේ ඇඳලා...

 බයික් එක බිත්තියට හයිකරලා.. පොඩි එකා බයික් එක පදිනවා.. ගෑනු ළමයා එතන ඉඳන් ෆොටෝ එකක් ගන්නවා :D


 ජනේලෙන් පහලට බැහැපු කඹයක්... කඹේ කම්බි වලින් හදල තියෙන්නේ ජනේලේ ඇත්ත එකක්
 මේකත් යකඩ වලින්  කරපු මුර්තියක්
 මේකෙත් පුටුව බිත්තියට හයි කරලා බිත්තියේ තියෙන කවුළුවක් අල්ලන්න ට්‍රයි කරන විදියට තමයි ඇඳලා තියෙන්නේ
මැකීගිය චිත්‍රයක්...


මේ චිත්‍ර ගොඩක් ඒවා ඇඳලා තියෙන්නේ Ernest Zacharevic කියන ලිතුවේනියානු ජාතික චිත්‍ර ශිල්පියා... ඔහු ගැන විස්තර මෙතන තියෙනවා.  බුකියේත් ඔහු ඉන්නවා

මෙහි තියෙන තවත් අපුරූ දෙයක් තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන ගෙවල් වල හිමිකරුවන් මේවා නරඹන්න එන සංචාරකයින්ට බයිසිකල් කුලියට දෙන වැඩේ... රිංගිට් 10ක් දීල ඕනේ කෙනෙකුට බයිසිකලයක් අරන් ටවුම පුරා ඇවිදින්න පුළුවන්... 

මේ තියෙන්නේ එහෙම බයිසිකල් පදින ලස්සන සුදු නංගිලා සෙට් එකක් මගේ කැමරාවට හසු වූ හැටි...


ඕක දැකපු අපි තුන්දෙනා බයිසිකල් පැද්දේ මෙන්න මෙහෙම


අපි බයිසිකල් පැද්දේ ටිකක් රෑ වෙලා... වහල තියෙන අර ජාතියේ එකක් හොයා ගන්න බැරි වුණා...

මම කලින් කිව්වා වගේ ජෝර්ජ් ටවුම හරියටම ගාල්ල වගේ තමයි... අපේ ගාලු කොටුව ඇතුලේ තියෙන විදියේ ගෙවල් වල බිත්ති වල තමයි මේ නිර්මාණ ඔක්කොම කරලා තියෙන්නේ...  මට හිතුනා බැරි වෙලා හරි මම ගාල්ලේ කොල්ලෙක් වුණා නම් මම ගිහින් අපේ බිත්තියේ මේ වගේ එකක් අඳිනවා කියල.. මොකද මම බියගම තියෙන අපේ ගෙදරයි අපේ අක්කලාගේ ගෙදරයි බිත්තිවල ඕවගේ කුරුටු චිත්‍ර නිතර අඳිනවා.. (අක්කගේ පොඩි උන් දෙන්න දැන් ලොකු නිසා එහෙ බිත්ති කුරුටු ගෑම දැන් තහනම්.. හෙහ් හෙහ්)

ඔන්න ඉතින් ගාල්ල පැත්තේ ඉන්න චිත්‍ර කාරයින්ට කරනවා නම් වැඩක්....