Thursday, May 11, 2017

මැලේසියාව කෙටියෙන් - Glimpse of Malaysia


     මැලේසියන් ජිවිතයට අවුරුදු 4ක් පිරීමට ආසන්න වී ඇත. ජීවිතය ගලාගෙන යන හැටි අපුරුයි කියා සිතෙන්නේ කිසිදිනෙක පිටරටක වැඩ කිරීමට හෝ පදිංචියට කිසිදු කැමැත්තක් නැතිව සිටි මා දැන් මේ රටේ සිව් වසරක් ගෙවා ඇති බව සිතෙන විටය. මම නම් මෙහෙමයි, මම නම් මෙහෙම වෙන්නේ නෑ යනුවෙන් සිතා සිටීම හරිම විහිළු සහගත දෙයක් බව මගේ කුඩා මොළයට මේ වනවිට වැටහී ඇත.

කොහොමද ඔහේ ජිවිතේ යනුවෙන් අසන අයට මගේ පිළිතුර ඔන්න ඔහේ ඉන්නවා හෝ මෙලෝ රහක් නෑ යනුවෙන් බොහෝ විට ආරම්භ වේ. ඒ මට උපතින්ම ලැබී ඇති සහජ හැකියාව ඔහේ ඉඳීම නිසා හෝ රස දැනීම පිලිබදව ඇති පොඩි අවුලක් නිසා විය හැකිය.  කෙසේ හෝ ඉතින් අවුරුදු 4ක් ගෙවා දමා ඇත. 

මැලේසියන් ජීවිතය ගැන මට වඩා අත්දැකීම් ඇති සහ ඇසු පිරු තැන් ඇති බොහෝ අය මේ අවකාශයේ සිටී. මගේ සත දෙකත් ඉතින් මෙසේ ලියා තබමි.

ඔබ කෙදිනකවත් මැලේසියාවට පැමිණ නැත්නම්, ඇවිත් ගියාට පාඩුවක් නැති, පහසුවෙන් සහ අඩු වියදමකින් පැමිණිය හැකි රටක් නිසා පොඩි රවුමක් දමා යාමට ඉතා සුදුසු රටකි.

මම මැලේසියාවට පැමිණීම හා පහුගිය අවුරුදු 4 තුල විටින් විට ආගිය තැන් ගැන බ්ලොග් සටහන් කිහිපයක් ම ලියා ඇත. ඒ සියලු දේ අතරින් මගේ සිත් ගත් දේ සහ මේ ජීවිතය නීරස වීම ගැන ඔන්න ඔහේ ලියා තැබීම සුදුසු යැයි සිතමි.

ලංකාවද මැලේසියාවද යනුවෙන් සිතා බලනවිට නිතැතින්ම මට ලංකාව හොඳ වේ. හේතුව මෙය යැයි කීමට නොහැකි හොඳ කමක් ලංකාවේ ඇත. ඉතින් මැලේසියාවට වඩා මට ලංකාව හොඳය. නමුත් ලංකාවට වඩා මැලේසියාව හොඳ වන බොහෝ හේතු සාධක ඇත. තවමත් සංවර්ධිත රටක් ලෙස නිල වශයෙන් නම් වී නොමැති නමුත් භෞතික වශයෙන් සෑහෙන දුරට සංවර්ධය වී ඇති බැවින් ඒ සමග ලැබෙන පහසුකම් අතින් ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් මැලේසියාව සිටී. ප්‍රධාන වශයෙන් වෙසන ජාතින් තුන් වර්ගයේම මිනිසුන් තුල බොහෝ ආචාරශීලි ගුණධර්ම ඇති අතර, වැඩි කලබලයකින් තොර සෞම්‍ය මිනිසුන් ලෙස මට දැනේ. මැලේ, ඉන්දියානු සහ චීන ජන වර්ග වලින් ප්‍රධාන වශයෙන් සමන්විත මැලේසියානුවන් ගෙන් මැලේ ජාතිකයින් ප්‍රියමනාප, මිත්‍රශීලි, කම්මැලි ගති ලක්ෂණ ඇති මිනිසුන් ලෙස හිතෙන අතර, ඉන්දියානුවන් කොහේ සිටියත් ඉන්දියානු ගති ලක්ෂණම පෙන්නුම් කරයි. සල්ලි කාර, වැඩ කාර,  උද්දච්ච චීනුන් නිසා මේ රට මෙලෙස දියණු වී ඇති බව සත්‍යයක් නමුත් චීනුන් සමග ගනුදෙනු කිරීම නම් ඉතා අමාරුය. මම මැලේ මිනිසුන්ට කැමතිය. චීනුන් අප්‍රිය වී ඇති අතර, ඉන්දියානුවන් සමග ගනුදෙනු අතේ දුරිනි.

දේශගුණිය අතින් ලංකාවට සමාන නමුත් ලංකාව වඩා සුවදායක බව සිතෙයි. මම දන්නා පරිදි රටේ ඉතිහාසය පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ සහ ඊට මදක් එපිට කාලයක් තෙක් ලියවී ඇති අතර මම වැඩි දුරටත් ඒ ගැන සොයා බලා නැත. මේ අවුරුදු 4ටම ජාතික කෞතුකාගාරයට යාමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

ගත කල කාලය ඇතුලත මැලේසියාවේ 3න් කොනක ඇති බොහෝ ප්‍රසිද්ධ ස්ථාන දැක බලා ගැනීමේ අවස්තාව හිමිවීම නිසා ආයේ බලන්න ඉතිරි වී ඇත්තේ නැගෙනහිර කොනේ ඇති දුපත් කිහිපයක් පමණි.  ඒ ඒ ගමන් ගැන සටහන් කිහිපයක් ම දැනටමත් ලියා ඇති බැවින් වැඩි දුරට ඒ ගැන ලිවීමෙන් පලක් නැත.

මැලේසියාවේ රජයට සම්බන්ධ තොරතුරු තාක්ෂනය පිළිබඳව  ජාතික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන ව්‍යපෘති දෙකක මේ වන විට මමත් මගේ බිරිඳත් වැඩ කර ඇත. අප දෙදෙනා ගෙවුණු පසු ගිය අවුරුදු 4ටම  24x7 එකටම සිටියා යැයි කීම වඩා නිවැරදි වන්නේ මේ ගත කල අවුරුදු 4ම එකම ප්‍රොජෙක්ට් වල එකම මොඩියුල් වල එකට වැඩ කිරීම නිසාය. අප දෙදෙනාට එක ළඟ මේස පුටු ලබා දීමට මේ මිනිසුන් හැම වෙලේම කාරුණික වූ බව නොකියාම බැරිය.

මුල් අවුරුදු දෙක මැලේසියානු මුදල් අමාත්‍යංශයේ ව්‍යපෘතියකත් ඊළඟ අවුරුදු 2ක සෞඛ්‍ය අමාත්‍යංශයේ ව්‍යපෘතියකත් වැඩ කිරීමේ අවස්ථාව අපට හිමිවිය. රටක් වශයෙන් සැලසුම් සහගතව ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සහ විදෙස් දැනුම සිය රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමත්, වසර 2020 වනවිට මැලේසියන් තාක්ෂණික යෝධයින් (Tech Giants)  බිහි කිරීමේ අරමුණත් ඇතිව ඔවුන් කරන මේ ව්‍යපෘති වලින් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. ලංකාවේ ICTA ආයතනය හා සමානව මැලේසියානු රජයට අවශ්‍ය තාක්ෂණික ව්‍යපෘති සිදු වන්නේ මේ ආයතනය හරහාය. නමුත් මම දිනක් මේ ආයතනයේ CTO හමුවූ විට ලංකාවේ ICTA ආයතනය ගැන දැනුවත් දැයි විමසු විට එහෙම ආයතනයක් ගැන කිසි දෙයක් නොදන්නා බව පැවසුවේය. ඇත්තටම නම් අපිට මොවුන්ගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔවුන් ඒ සඳහා උදව් උපකාර කිරීමට පවා කැමති වනු ඇත. ඒවා ඉතින් ලොක්කන්ගේ වැඩය.

ගෙවී ගිය අවුරුදු 4ම එකම බොසෙක් යටතේ වැඩ කිරීමේ අවස්ථාව අපට හිමිවිය. ඇඟ පුරාම මොලේ තියෙන හැකර කටක් ඇති වැඩ කාර චීන බොසා සහ ඇල්වතුරත් නිවලා බොන හරිම අහිංසක නමුත් දැනුමෙන් ලොක්කාටත් උගන්නන තවත් චීන සහෝදරයෙකුත් අප සමග හැමදාම එකට වැඩ කළේය. ඔවුන් දෙදෙනා සැබවින්ම දක්ෂයින් වන අතර නොමසුරුව ඒ දැනුම තමන්ගේ කණ්ඩායමට ලබා දීමටත් ඔවුන් කාරුණික වීම සඳහන් කල යුතුය. ඔවුන් අප ලවා වැඩ කර ගත්තා සේම, නිසි ලෙස සිය වගකීම ගෙන අවශ්‍ය වෙලාවේදී ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මැදිහත් වීම අගේ කල යුතුය.  පර්ෆෙක්ෂනිස්ට් කෙනෙකු වූ බොසා සමග වැඩ කිරීම අභියෝගයක් වූ බොහෝ දිනයන් අවසන් වුයේ ඌට හොම්බට දෙකක් දෙන්න සිත් වීමෙනි නමුත් ඒ හැම දිනම ඉගෙන ගත් දේවල් ජිවිත කාලයටම වැදගත් ය. බොසා දකින විට හොම්බට අනින්නට හිතුනත් ඌ කෙරෙහි ගෞරවයක් හැමදාම සිතේ ඉතිරි වී ඇත.

රැකියාවට එන්නට පෙර බොහෝ දේවල් ගැන හොයා බලා එන්නම් වාලේ එන්නේ නැතුව අපිට අවශ්‍ය පරිදි සියල්ල සුදානම් කරගෙන පැමිණීම නිසා මෙහි ජීවිතය සුවදායි ලෙස ගලා ගියේය. ආපු හැටි ගැන සටහනක් මෙහි ඇත.   රැකියාවේ තිබුණු අපහසුකම් සහ කාලයක් යන විට ඇති වන නීරස ගතිය හැරුණු කොට වෙන අවුලක් තිබුනේ නැත. කොහොමත් ගෙට වූ චරිතයක්  නිසා වැඩි සමාජ ආශ්‍රයක් නැතිව ඉතාම හිතවත් මිතුරන් කිහිප දෙනෙකුට ආශ්‍රය සිමා වීම නිසා සමහරවිට ඒ නීරස බව වැඩි වන්නට ඇත. නමුත් මම එසේ හිඳීමට ප්‍රිය කරමි. කෙතරම් සැප පහසුකම් තිබුනත් හිත පවුලේ අය සහ නෑ හිත මිතුරන් ගේ ඈත් වී ජිවත් වීම කාලයක් යන විට එපා වේ. සැපක් ලෙස දැනුනත් එය අමුතුම ආකාරයේ දුකකි.

ඔය නීරස ගතිය දුරු කර ගැනීමට සෑම සති අන්තයකම ෂොපින් මෝල් ගානේ කරක් ගැසුවද අවසානයේ සිදුවුයේ ෂොපින් මෝල් ද එපා වී යෑමය. කම්මැලි කම යන්නට තවත් නානාප්‍රකාර දේවල් කරන්නට පටන් ගත්තා වුවද ටික කලකින් සියල්ල එපා වී අමුතුම ආකාරයේ හොල්මන්ද පොල්කොළ ගතියක් සහිතව බොහෝ දින ගෙවී ගියේය. චීන නංගි කෙනෙක් සමග පුල් එකට බැස පිහිනීමට ඉගෙන ගැනීම ඔය අතර සිදුවූ වැදගත් වැඩකි. ආකිමිඩිස්ට යුරේකා කියන්නට උදව් වූ පරිදි ජබොස් ගා පුල් එකට පනින්නට පමණක් දැන සිටි මට දැන් යාන්තමට එගොඩ මෙගොඩ පිහිනා ගැනීමට ඒ නංගි උදව් උපකාර කළේය. රස්සාවෙන් ඉගෙන ගත් දේ හැර ජිවිතයට වැදගත් යමකට අලුතින් ඉගෙන ගත්තේ එපමණකි.

අප දෙදෙනාගේම පවුලේ අයත් සමග කිහිප විටක් මැලේසියාවේ විවිද ස්ථාන වල සංචාරයට අවස්තාව ලැබීමද, ලංකාවේ උදව් අවශ්‍ය කිහිප දෙනෙකුට නොමසුරුව උදව් පදව් කිරීමේ අවස්තාව ලැබීම ද රට සිටීමෙන් ලැබුණු අනෙක් ප්‍රයෝජන වේ. පිට රටක වැඩ කර අත්දැකීම් ලබාගැනීම, ලෝකයේ විවිධ රට වල ඇවිද ලෝකය කොතරම් විව්ධාකාරදැයි දැක බලා ගැනීම අපුරු වැඩකි. උපන් රටට ලැදි වීම නොවැලැක්විය හැකි දෙයක් වුවත්, උපන්දා සිට මැරෙන තුරු උපන් රටට වීම අනුවණකමක්  යැයි සිතේ. මට කෙදිනකවත් ලංකාව ගැන දුකක් කනගාටුවක් මේ රටේ සිටින විට ඇති නොවිනි. මන්දයත් මිනිසුන්ගේ ජිවන අරගල ලෝකයේ කොහෙත් එක හා සමාන බැවිනි. එකම දේ සමහර රටවලදී වඩා පහසුවෙන් ඒ අරගලය කිරීමට හැකි වීම පමණි. ලංකාවේ ජීවිතය සුවපහසු නැති වුවද එය එතරම්ම අපහසු යැයි ද මට නොසිතේ. ඉතින් වැඩි සැපක් යටතේ වුවද විඳින්නේ දුකක් නම් විඳින සැප මදක් අඩුවීම එතරම් ගැටලුවක් නොවේ. (මේවා ඉතින් තියරි පමණි. ගෙදර උන්දෑගේ කතන්දර අසා සිටිය යුතුය)

ඉතින් මැලේසියන් ජීවිතය ඔය ආකාරය. මේ අතරේ ඉන්න ඉන්න ගමන් ගත් පින්තුර ටිකක් දමා සටහන අවසන් කරමි. නැවත බ්ලොග් බැලීමට ලිවීමට හැකි වන්නේ මේ සියල්ල නිමාකොට ජිවිතයේ මැලේසියන් පරිච්චේදය නිමා කොට ලබන සතියේ ලංකාවට පැමිණි පසුය. ලංකාවේ ජීවිතය යටතේ වැඩිපුර යමක් ලියවේ යැයි සිතමි.

මැලේසියාවේ පළමු වසර දෙක ගෙවී ගිය මුදල් අමාත්‍යංශය. මැලේසියානු රාජ්‍ය සේවකයෝ ද 9ට විතර පැමිණ, පැය දෙක තුනක් කා බී 4.30 වෙනවිට සෙමින් මාරු වන ජනකොටසක් බව මෙහිදී අපි ඉගෙන ගත්තෝය.


මුදල් අමාත්‍යංශ ගොඩ නැගිල්ලේ ඇතුලත සිට ගත් පුත්‍රජයා නගරයේ පැනොරාමාවක්. පුත්‍රජය නගරය ගැන ලිවීමට සිතා සිටිය මුත් එය ඉටු නොවිණි. පසුව ලියමි.


පුත්‍ර ජයාවේ ඇති ප්‍රධාන මුස්ලිම් පල්ලිය.

ඔබ සැම අදුනන පෙට්‍රොනා කුළුණු


දිනෙක ඉර බැස යන වෙලාවක. මැලේසියාවේ වඩාත් ම සිත් ගත් දෙය වන්නේ සැම තැනකින්ම විසල්ව පෙනෙනා අහස සහ මෙවැනි තේජාන්විත ඉර බැසයාම්ය. අප සිටි කොන්ඩෝවට ඉතා අපුරු ලෙස මේ ලෙස ඉර බැස ගියේය.


කැමරන් හයිලන්ඩ්ස් නමින් හඳුන් වන මැලේසියානු කඳුකර තේ වගාවක්. අපගේ සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකු සමග ගිය ගමනක්දි ගත් පොටෝවකි. ඒ මහතා දැන් පේන්නට නැත.

චීනුන් ද බෞද්ධයෝය. නමුත් ඔවුන් අපට වඩා වෙනස් ය. ඒ වෙනසට මම කැමතිය.

මැලේසියාව ලංකාවට වඩා දියණු වන්නේ මේ ලෙසය.

ලංකාවී දුපතේදී වැස්සට හසුවූ උකුස්සෙක්.


අනේ මෙවැනි ලස්සන විදි චිත්‍ර ලංකාවේ නොඅදින්නේ ආණ්ඩුවෙන් උදව් උපකාර නොලැබෙන නිසා දැයි මට සැමදා සිතේ.



Monday, April 24, 2017

සැබෑ ආදරය ටැබූ ද විය හැකිය


              සැබෑ ආදරය හරි අපූරු විදියට අපිට හමු වෙනවා. ගොඩක් වෙලාවට ඔය හමුවෙන ආදරය තේරුම් ගන්න අපිට තේරෙන්නේ නෑ. සැබෑ ආදරය නම් මෙන්න මෙහෙමයි කියල අපේ සමාජය අපිට උගන්නල තියෙන රාමු වලින් එහාට ආදරය දකින්න අපිට නොහැකි වෙලා තියෙන එක හරිම අපරාදයක්. රාමු වලින් තොර වෙච්ච කුඩා දරුවන්ගේ ආදරය අපිට කිසි අඩුවකින් තොරව දැනෙන්නත් අනෙකුත් බොහෝ සම්බදතා  වලදී විවිධ කොන්දේසි වලට අනුකුලව ආදරය අපිට දැනෙන්නෙත් හේතුව මේ අපි හිර වෙලා ඉන්න රාමු නෙවෙයි ද?

yin yang සංකේත දෙකක් අතර දන්වැලකින් බැඳුනු රතු පාට හදවතක පින්තුරයක්

ළමා කාලයෙන් පස්සේ අපේ හිත්වල තියෙන ආදරය හෙමින් හෙමින් වෙනස් වෙන හැටි හරි පුදුමයි. ළමා කාලයේදී අනිත් අය ගැන අපේ හිත්වල තියෙන ආදරය හරි සිම්පල්. සුළු දේකට මහ මෙරක් තරම් ආදරේ වෙනවා. පුංචි ටොපියක්, නැත්නම් පුංචි සෙල්ලම් බඩුවක් නිසා හිතේ ඇතිවන සතුට නිරායාසයෙන්ම ආදරයක් බවට පෙරළෙනවා. ටික වෙලාවකින් ඕක ගානක් නැති වෙලා යන එක ඇත්ත. හැබැයි ඒ ඇතිවන ආදරේ හරිම ඔර්ජිනල්. 

පස්සේ පස්සේ පුංචි  කෙල්ලක් හෝ පුංචි කොල්ලෙක් ගැන අපේ හිත් වල ඇතිවන ක්‍රෂ් එක මට හිතෙනවා ඔර්ජිනල් කියල. හැබැයි ඒ වෙද්දී ටික ටික කන්ඩිෂන් වෙලා තියෙන අපේ හිත ඒ ඇතිවෙන ඔර්ජිනල් හැඟීමට ඉඩ දෙන්නේ නෑ. පුංචි උනත් වටෙන් පිටෙන් ඇහිලා දැනිල තියෙන දේවල් එක්ක ඒ ආදරේ සංසන්දනය වෙනවා. සුන්දර මතකයන් විතරක් ඉතිරි කරලා ඒ ක්‍රෂ් ක්‍රෑෂ් වෙලා යන්නේ අපේ හිතේ ඇතිවන ඔරිජිනල් ආදරේට වඩා වට පිටාවෙන් ලැබිච්ච කන්ඩිෂන් වෙච්ච මනස බලවත් වෙන නිසා. 

එතනින් පස්සේ ආදරේ කියන්නේ තනිකරම සමාජීය දෙයක්. සමාජයෙන් ඉගෙන ගෙන තියෙන, උදේ හවස මාධ්‍ය වලින් ඔළුවට දාන අනුන්ගේ ආදරයෙන් අපි අපිට හරි යන ආදරය හොයන්න දඟලනවා. ඔය අනුන්ගේ රාමු අස්සෙන් අපිට ඕනේ කරන ආදරය හොයාගෙන යද්දී අපිට ලැබෙන අපුරුම තෑග්ග තමයි විවිධාකාර අත්දැකීම්. සමහර විට මුළු ජිවිතයම රසවත් කරන්නත්, එහෙම නැත්නම් මුළු ජිවිතයම මහා වේදනාවකින් පිරිච්ච විඳවීමක් කරන්නත් ඔය අත්දැකීම් වලට පුළුවන්. ඒ වේදනාවන් ලෝකයම රසවත් කරන අපුරු කලා නිර්මාණ වෙන්නත් පුළුවන්. මට හිතෙන විදියට සහ මගේ අත්දැකීම් වලින් නම් අපිට හරියන ඔර්ජිනල් ආදරය අපිට හම්බවෙන්නේ අපි ඔය තරුණ කාලේදී අනිත් අය කියන හෝ අනිත් අයගේ රාමු අස්සෙන් ආදරය හොයනකොට නෙවෙයි. අපි අපේ අවංක ස්භාවයෙන් අපි අපිම වුනාම තමයි ඒ හරියන කෙනා අපිට ලැබෙන්නේ. එහෙම හම්බවෙන ආදරය හැමදාම තියෙනවා. අමුතුවෙන් තියාගන්න දෙයක් නෑ.

එහෙම හම්බ වෙන ඒ ආදරය ඇතුලේ තියෙන අපුරු රස විඳින්න පුළුවන් වෙන්නෙත් අපිට ඒ හමුවෙන කෙනා ව පිටින් දාන රාමු වලින් තොරව ඒ පුද්ගලයාගේ සැබෑ ස්වරුපයෙන් දකින්න පුළුවන් නම් විතරයි. සමාජ රාමුවක් ඇතුලෙන් දකින්න ගත්ත ගමන් ආදරය දිය වෙලා යනවා. අපිට හමු වෙච්ච ඒ පුද්ගලයාගේ තියෙන සමහර පුංචි දේවල් අපිට මිස් වෙනවා.  මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනන්‍ය වෙච්ච චරිත. ඉතින් ඒ අනන්‍යතා අපිට දකින්න පුළුවන් නම් ඒ මිනිස්සු කොච්චර අපුරු චරිතද කියල හිතෙයි. හැබැයි තව කාගේ හරි මතයක් තුලින් මිනිස්සුන්ව මනින තාක් අපිට ඒ අනන්‍ය බව දකින්න බෑ.

ආදරය ඇතිවෙන්න ඕනේ ගැහැණු පිරිමි, පිරිමි ගැහැණු අතර විතරද? ගැහැණු ගැහැණු, පිරිමි පිරිමි ආදරය ගැහැණු පිරිමි ආදරයට වඩා අඩු වෙන්නේ කොහොමද? අපි නොදකින, නොසිතන ඒ පැති අපි ටැබූ විදියට සලකල මග ඇරලා දාල තියෙනවා. ගස් වැල් තුල ආදරය තියෙනවා. සොබා දහමේ ආදරය තියෙනවා. සතා සීපාවා තුල ආදරය තියෙනවා. අපි ඒ ආදරයට හරිම සංවේදියි. හැබැයි අර ටැබූ ආදරයට අපි අසංවේදියි.

අපි බොහෝවිට ආදරය සහ බැඳීම පටලවාගෙන ඉන්නේ. ආදරය තියෙන්න බැඳීමක් තියෙන්න ඕනේ නෑ. බැඳීම තද වෙන්න වෙන්න ආදරය අඩු වෙනවා.  බැඳීමෙන් දුක වැඩි වුනාට ආදරයෙන් දුක අඩු වෙනවා. ආදරය බැඳීමක් කර ගන්න ගියාම දුක වැඩි වෙනවා.  බැඳීමෙන් තොර ආදරය හරිම අපුරුයි. ආදරය කියන්නේ බැඳීමක් කියල විතරක් අපේ ඔළුවට දාල තියෙන නිසා අපිට ආදරයේ සහ බැඳීමේ වෙනස තේරුම් ගන්න අමාරුයි. අපිට කාගේ උනත් පොඩි ළමයෙක් දැක්කම හරි ආදරයක් ඇති වෙනවා. නමුත් අපි ඒ ළමයට බැඳිලා නෑ. හැබැයි කිසිම හේතුවක් නැතිව ආදරයක් ඇතිවෙනවා. හැබයි ඒ හැඟීම වැඩිහිටියෙක් කෙරෙහි එහෙම ඇති වෙන්නේ නෑ. වැඩිහිටියෙක් ගැන එහෙම ආදරයක් ඇති වෙන්නේ බොහෝ විට කුමක් හෝ බැඳීමක් නිසා. අපිට වැඩිහිටියෝ පව් කියල හිතුනට එයාලට ආදරේ හිතෙන්නේ හරි අඩුවෙන් සමහර විට රුපය නිසා වෙන්න ඇති.

ආදරය ගැන මේ සටහන ලියන්න හිතුනේ දැනට මාස කිහිපයකට කලින් බලපු අපුරු චිත්‍ර පටියක් නිසා. බාගෙට ලියල දාල තිබිච්ච එකක් ඉවරයක් කරලා දාන්න හිතුනා. චිත්‍ර පටිය ගැන යමක් නොකියාම බෑ. නමුත් කතාව ස්පොයිල් නොකර ඒ ගැන කතා කරන්නත් බෑ. කොහොම වුනත් තරුණ යුවලක් අතර ඇතිවෙන ආදරය සහ ඒ ආදරය කොච්චර දුරට යනවද කියල මේ කතාවෙන් කියවෙනවා. සැබෑ ආදරය ටැබූ ද විය හැකිය කියල මට හිතුනේ ඒක බලල ඉවර වුනාම.

චිත්‍ර පටියේ නම The Danish Girl බලල තියෙන අය ඔයාලට දැනුන අදහස කියන්න. නොබලපු අය හොයාගෙන බලන්න. ආදරයේ සියුම් තැන් කොච්චර තියෙනවද කියන එක හිතල බලන්න හිතෙයි.

The Danish Girl චිත්‍ර පටයේ ප්‍රචාරක පෝස්ටරයක්

මේ තියෙන්නේ මේ අදහස ගැන මිට අවුරුදු 6-7කට කලින් මම ලියපු සටහනක්.  මේ වගේ අදහස් ගැන හිතල බලන්න පුරුදු පුහුණු කරපු අපුරු ගුරුවරු ටිකක් මට හිටියා. ටිකෙන් ටික යාන්ත්‍රික වෙලා ගිහින් දැන් ඔළුවෙන් ඒ අදහස් වේලිලා ගිහින්. නැවත ඔවුන් හමුවී වියලුනු හිතට තෙතමනය ගේන්න කාලය ඇවිල්ල. 

Wednesday, April 19, 2017

කංඡායුධ සමග මගේ ගේම් ගැසීම - ලාංකීය ගේම් එකක්


      මම ගේම් ගසන්නට කැමති නමුත් ගේම් වලට ඇබ්බැහි නොවූවෙකි. මගේ ගේම් ඉතිහාසය ගැන කෙටියෙන් යමක් කියා පොඩි නොස්ටලිජික් ආතල් එකක් ගැනීම ගේම් ගැසීමට වඩා ආතල් ජනක වැඩකි.

කලුසුදු ටීවී එකකින් ආරම්භ වී පසුව කලර් වුනු අපේ ටීවී එක පුදුමාකාර උපකරණයක් විදියට මාව මවිත කලත්, ටීවී එකේ ගේම් ගසන්නටත් හැකි බව දැන ගත් වහාම නිකම්ම නිකන් ටීවී බැලීම වැඩක් නැති වැඩක් බවත් නියම වැඩේ නම් ටීවී එකේ ගේම් ගැසීම බවත් මට තේරුම් ගියේය. ටීවී එකේ ගේම් ගැසීමට අදාල  ටීවී ගේම් බොක්ස් එකක් ගැනීම සිහිනයක් බව  හොඳාකාරව දැන සිටියත් කොහෙන් හෝ ගේම් ගැසීමේ උණක් ඒ දිනවල තදට වැළඳී තිබුණු ආකාරය මට හොදින් මතකය.

ඒ දිනවල දුව පැන නටන සෙල්ලම් සහ සාමාන්‍ය සෙල්ලම් බඩු  වලට අමතරව අතේ තියාගෙන පොඩ්ඩක් හිතල මතල සෙල්ලම් කල හැකි සෙල්ලම් බඩු ටිකෙන් ටික එලියට පැමිණෙමින් තිබුණු කාලයයි.  ඔය සෙල්ලම් බඩු වලින් මට ලබා ගත හැකි මට්ටමේ තිබුනේ සෙල්ලම් බඩු වර්ග 2කි. එකක් අර ප්ලාස්ටික් puzzle එකක් සහිත කුඩා පුවරුවයි. අනිත් එක කුඩා බට්න් දෙකක් ඔබමින් වතුරේ තිබු පුංචි පුංචි රවුම් කුඩා කණු දෙකක් ඇතුලට හිර කරන පොඩි ගැජට් එකයි.  මේ තියෙන්නේ ඔය අයිටම් දෙක


ප්ලාස්ටික් puzzle එකක් සහිත කුඩා පුවරුව


කුඩා බට්න් දෙකක් ඔබමින් වතුරේ තිබු පුංචි පුංචි රවුම් කුඩා කණු දෙකක් ඇතුලට හිර කරන පොඩි ගැජට් එක

ඉලෙක්ට්‍රොනික් බ්‍රික් ගේම් මැෂිමක් යනු අති සුඛෝපබෝගී සෙල්ලම් බඩුවක් වී තිබුණු ඒ කාලයේ ටීවී එකට සවි කර සුපර් මාරියෝ හෝ තවත් එවැනි ගේම් කාඩ් දමා ප්ලේ කරන මැෂින් යනු හීනෙන් පමණක් පෙනෙන සෙල්ලම් බඩු බවට පත්වී තිබුණි.

මේ තියෙන්නේ ඔය බ්‍රික් ගේම් මැෂින්



බ්‍රික් ගේම් මැෂිමක් නම් යාළුවෙකුගෙන් රැගෙන විත් ආසාව යනකම් සෙල්ලම් කර ඇතත් කවදාවත් ටීවී ගේම් එකක් ගැසීමේ ආශාව නම් ඉෂ්ට වී නැත.

කවදාවත් සෙල්ලම් කර නැති ටීවී ගේම් එකක් 

බ්‍රික් ගේම් මැෂිමක් හම්බ වුනෙත් මම හිතන්නේ O/L කරන කාලේදී වගේ. පිස්සුවෙන් වගේ බස් එකේ යද්දී ඕක ඔබ ඔබ යනවා. මරු ආතල් වැඩේ.

ඔය කාලේදී අපේ මාමා කොම්පියුටරයක් ගෙනාවා. මම ඉතින් පුළු පුළුවන් වෙලාවට මාමලාගේ ගෙදර ගිහින් තමයි කොම්පියුටරේට අත්පොත් තිබ්බේ. කරපු එකම වැඩේ ගේම් ගැහිල්ල තමයි. අපරාදේ කියන්න බෑ.. මාමයි නැන්දයි කිසි අවුලක් නැතිව ඕනේ දෙයක් කරන්න ඉඩ දීලා තිබුනා. 

ඊට පස්සේ ඉතින් ලොකු වුනානේ.  ටීවී ගේම් ආශාව එහෙමම යට ගිහින් කොම්පියුටර් ගේම් ආශාව ආවා. මුලින්ම කොම්පියුටරේ ගෙදරට ගෙනාවේ මම පළවෙනි වතාවට උසස් පෙළ කරන්න කිට්ටු වෙද්දී.  ඒත් ඉතින් වින්ඩෝස් එක්ක නිකන් හම්බ වෙන ගේම් ටික පිස්සුවෙන් වගේ ගැහුවා. මට අදටත් මතකයි මමයි අක්කයි ඔය කොම්පියුටර් ගන්න එහෙ මෙහෙ කඩවල් වල ඇවිදින කොට ඔය රාජගිරියේ හංදියේ තිබ්බ ලොකු තට්ටු 3-4ක බිල්ඩිමක් ඇතුලේ කඩයක කොල්ලෝ ටිකක් මරු කාර් (නිකන් අමුතු යානා වගේ මතක) ගේම් එකක් ප්ලේ කර කර හිටපු හැටි දැක්ක එක. 

මම ගත්ත කොම්පියුටර් එකට ඒ වගේ ගේම් එකක් දා ගන්න බැරි කමක් තිබුනා මට මතක විදියට මොකද මගේ එකේ RAM එක 64MB. අනිත් එක ගේම් CD හොයා ගන්න විදියක් තිබුනෙත් නෑනේ. ඉතින් වින්ඩෝස් එක්ක ආපු ගේම් වලින් සතුටු වෙන්න සිද්ද වුණා.

ඔය මැෂිමේ RAM එක ගැන කියද්දී මතක් වෙන තව දහදුරා වැඩක් තියෙනවා. මම ඒ දවස් වල මගේ යාළුවකුගේ මැෂිමක තිබ්බ 128MB RAM එකක් උස්සල මගේ එකට ගහ ගත්ත එක. මම ඒක ඔන්න ඔහේ ඌට ඕක වැඩක් නෑනේ කියල හිතල උගේ එකෙන් ගලෝලා අරගෙන මගේ එකේ ගහ ගත්තා. මගේ තිබ්බ 64MB එක උගේ මැෂිමට ගහල. ඌත් සද්දයක් නැතිව හිටියා. මම හිතුවා ඌට ඕක ගානක් නැතිව ඇති කියල. හැබැයි මේ දැන් අවුරුදු 4-5කට කලින් ඌව හම්බ වෙච්ච වෙලාවේ මු කිව්වනේ අඩෝ තොට මතකද තෝ මගේ RAM එක මාරු කළා කියල.. හෙහ් හෙහ් හතර විලි ලැජ්ජාවේ පස් වෙනි එක.. ඌ එච්චර කල් ඒක ගණන් ගන්නේ නැතිව ඉඳල.. හෙහ් හෙහ්

ඔහොම ටික කාලයක් යද්දී කොහෙන් හරි හම්බ වුණා  V-COP ගේම් එක. හෙහ් හෙහ් මේක නොගහපු උන් ගේම් කාරයෝ විදියට හඳුන්වන්න අමාරුයි.

ඕක නම් මදි නොකියන්න ගැහුවා. කොටින්ම ඔය කාලේ අර මම ලියපු පොතේ මුල් කවරේට දැම්මෙත් ඔය ගේම් එකෙන් ගත්ත පින්තුරයක් හෙහ් හෙහ්...

ඕක ගහල ඉවර වෙද්දී තමයි අර ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබ්බ, Age Of Empire වගේ Strategy ගේම්ස් ගහන්න පටන් ගත්තේ. ඒ දවස් වල සෙට් වෙච්ච තව පට්ටම ගේම් එකක් තමයි Commandos කියන එක. සතුරු කඳවුරකට ගිහින් මොකක් හරි මිෂන් එකක් කරන්න තමයි තියෙන්නේ. සමහර මිෂන් ගොඩ දාන්න සෑහෙන්න කල්පනා කරන්න ඕනේ.. කොටින්ම මම උසස් පෙළ පියෝ ඇප්ලයිඩ් ගණන් හදන්න වත් ඒ තරම් නම් කල්පනා කරලා නෑ.. හෙහ් හෙහ්.. මග දිගට බස් වල යද්දිත් මිෂන් එක ප්ලෑන් කරන එක තමයි කලේ.

ඔය ගේම් දිරවන්නේ නැති වයසක උන්දැලට මේ කියන්නේ අපේ මනසේ හැකියාවන් දියුණු වෙන්න පොත් පාඩම් කරලා ගණන් හදන්නම ඕනේ නෑ.. ගේම් ගහල වුණාත් හිතන විදිය, යමක් ප්ලෑන් කරන විදිය ඉගෙන ගන්න පුළුවන්..දැන් මේ අපි ඉන්නේ අපුරුවට.. හෙහ් හෙහ්..

තව තිබ්බා Warcraft කියල ගේම් එකක්. එකත් ඔය වගේම Strategy ගේම් එකක්. හැබැයි අමුතු හයිටෙක් වැඩ සහ මැජික් තිබුනේ. ඔය අස්සේ තව කාර් ගේම් එකකුත් ප්ලේ කළා Test Drive හරි මොකක් හරි නමක් තියෙන. ඕවා ගගහ ඉන්න අතරේ ඉතින් යන්තම් ඔය එහෙන් මෙහෙන් හම්බ වෙන සල්ලි වලින් ගෙදර මැෂිමේ හැකියාව ටික ටික වැඩි කරගෙන තව තව ගේම් ගැහුවා. Unreal කියල එකක්, Doom ද කොහෙද කියල තව එකක් ගහන කාලේ වෙද්දී පළවෙනි රස්සාවටත් ගිහින්.  රස්සාවට ගිහින් කොහොම හරි අමාරුවෙන් මැෂින් එකේ RAM එක 1GB වලට වගේ වැඩි කරගත්තට පස්සේ Need for Speed වගේ පට්ට ගේම් ගැසීමේ හැකියාව ලබාගත්තා. හෙහ් හෙහ් මම හිතන්නේ Need for Speed Carbon ද මොකක් ද කියල ආපු ගේම් එකට වෙනකම් ගැහුවා. ඊට පස්සේ නම් ඔන්න ටිකෙන් ටික ගේම් උණ අඩු වෙලා ගිහින් ටිපිකල් රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා, කසාද බැඳලා ඉන්න ඕනේ කියන තත්වයට පත්වුනා.

ඊට පස්සේ ගේම් ගැසීම අභාවයට ගියාට හදිස්සියෙවත් ගේමක් සෙට් වුනොත් සැරයක් දෙකක් ප්ලේ කරලා බලන එක නම් නතර වුනේ නෑ.

කොහොම හරි ඉතින් එව්වා මෙව්වා වෙලා සෑහෙන්න ලොකු වෙලා මේ පහුගිය අවුරුදු 2-3-4කට කලින් මේ රටට ආවට පස්සේ ආපු මගේ ඔය කීවෙනි හරි උපන්දිනේදී මම සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව Need for Speed Most Wanted එකේ Android වර්ෂන් එක සල්ලි දීලා අරගෙන ෆෝන් එකට දාගත්තා මම විසින් මටම දෙන උපන්දින තෑග්ගක් හැටියට.. දැන් ඉතින් ඔය යන එන වෙලාවට ඕක ෆෝන් එකේ දාගෙන ගහනවා. පට්ට ගේම් එකක්.

ඊට පස්සේ ආයේ ගේම් උණ මට  හැද්දේව්වේ අපේ අක්කගේ පොඩි එකා. ඌට හැදෙන ගේම් උණට සෙට් වෙන්න හිටියේ මම. මොකද උගේ තාත්තා හෙවත් මගේ ලොකු මස්සිනාට ගේම් ප්ලේ කිරීම කෙසේ වෙතත් ගේම් කියන වචනෙවත් සෙට් වෙන්නේ නැති එකෙක්. පොඩි එකා ගේම් ගහන එකට විරුද්ද නොවුනත් පොඩි එකත් එක්ක සෙට් වෙලා උගේ ලෙවල් එකට වැටිල ගේම් ගහන එකට පොඩි එකාට ඕනේ වුනේ මාව. තාත්තව නෙවෙයි.. හෙහ් හෙහ්...

ඊට පස්සේ මම  මිනිහත් එක්ක සෙට් වෙලා මේ කාලේ පට්ට ජනප්‍රිය වෙලා තියෙන Clash of Clans ගහන්න පටන් ගත්තා. ෆෝන් එකෙන්. එකත් මරු ගේම් එක. ලංකාවේ කොහොම වුනත් මේ රටේ නම් තරුණ, බාල, මහලු කියල වෙනසක් නැතිව ඔය ගේම් එක නම් ගහන අය ඉන්නවා. මෙහෙ ඉන්න ගොඩක් මිනිස්සු ෆෝන් එකෙන් කරන්නේ ඔය එක එක විදියේ ගේම් සෙල්ලං කරන එක.

මම මේ බ්ලොග් කියවන ඔය ගේම් ගැන වැරදි ආකල්ප වලින් බලන අයට දැන ගන්නත් එක්ක යමක් ලියන්නම්. මම මුලින්ම වැඩ කරපු කොම්පැනියට හම්බ වුණා ඔය කොහේදෝ රටක ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එක තමයි ඒ රටේ හදපු පරිගණක ක්‍රීඩාවක් ටෙස්ට් කරන එක. ඒ වැඩේ කරන්න බාර දුන්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය ලබල, ඔය උපාධි එහෙම අරගෙන ආපු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන්ට. පරිගණක මෘදුකාංග වලදි ගේම් කියන්නේ සෑහෙන්න හොඳ තැනක් තියෙන රස්සාවක්. ගේම් ලියන එක ලේසි නෑ..  කොටින් ම ඒ දවස් වල ඒ වැඩේ කරපු මගේ යාළුවන්ට පඩි ගෙව්වේ ගේම් ගහනවට. පස්සේ පස්සේ  ඒ වැඩේට තව කට්ටිය ඕනේ වෙලා අපේ කොම්පැනියේ ලොක්කා මට කිව්වා කවුරු හරි හොයල දෙන්න කියල. පස්සේ මම ඔය උපාධියක් අරන් රස්සාවක් නැතිව අනාථ නාථ වෙලා හිටපු මගේ අතීසාර යාලුවෙකුට ඒක සෙට් කරලා දුන්න. ඌ කාලයක් පඩියට ගේම් ගහල රස්සාව පටන් අරන් පස්සේ පස්සේ වෙන වෙන දේවල් ඉගෙන ගෙන දැන් ලක්ෂ ගණන් වලින් පඩි ගන්නේ...

පරිගණක ගේම් කියන්නේ යකෙක් නෙවෙයි. අපි කවුරුත් දන්න අඳුරන Tesla සමාගමේ නිර්මාතෘ මෙන්ම අද ලෝකයේ සිටින ඉතා නිර්මාණශීලි මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච Elon Musk ඔහුගේ විවේක වෙලාවලදී කරන ප්‍රියතම වැඩක් විදියට මේ පරිගණක ක්‍රීඩා හඳුන්වනවා. ඔහු ගේම් විශේෂඥයෙක්.

හරි ඉතින් ගේම් ගැන ඉතිහාස කතා පොර ටෝක් ඇති. මේ ලංකාවේ හදපු කංඡායුධ ගේම් එක ගැනත් මම ෆේස්බුක් එකේ දැකල පොඩ්ඩක් උනන්දු වෙලා හිටියා. මේ ලඟදි ඕක නිල වශයෙන් නිකුත් කලාය කියල පණිවිඩයක් දැක්කට පස්සේ ගේම් එක හදපු අපේ ලංකාවේ සහෝදර සහෝදරියන්ට උපකාරයක් වශයෙන් එයාලගේ වෙබ් අඩවියේ සඳහන් විදියට මුදලක් ගෙවල මම මේක ගත්තා. කැමති කෙනෙකුට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නත් ඔවුන් පහසුකම දීල තියෙනවා. එක ඉතා වටින වැඩක්.

මේ තියෙන්නේ ගේම් එක. කැමති කෙනෙකුට මෙතනින් ෆේස්බුක් එකට ගිහින් ඔවුන් හා සම්බන්ධ වෙන්න පුළුවන්



ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ලින්ක් ටික එවෙලේම මට ලැබුනත් මම ඊට මාසෙකට විතර පස්සේ තමයි මේ ගේම් එක බා ගත්තේ. ඉතින් ඔය නිවාඩු පාඩුවේ ඉන්න දවසක මම මගේ කාර්යාල පරිගණකයේ ඕක දාගෙන බැලුවා. මේ ලැප්ටොප් එක ගේම් ගහන්න හදපු එකක් නොවුනත් සෑහෙන හොඳ තත්වයේ තියෙන නිසා ගේම් එක අවුලක් නැතිව වැඩ කරනවා. හැබැයි ග්‍රැෆික් නම් පොඩ්ඩක් අවුල්. මට හිතා ගන්න බැරි මගේ ග්‍රැෆික් කාඩ් එක මදි නිසා වෙන අවුලක් ද නැත්නම් ගේම් එකේ ග්‍රැෆික් අවුලක් ද කියන එක.  කොහොම හරි ඉතින් ගේම් එක ගහද්දි මට හිතුනු ටික මම ලියල දාන්නම්.  හදපු අයට උදව්වක් විදියට.. මම ගේම් ඩිවෙලොප්මන්ට් ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ.

1. මේ ගේම් එකේ ඉන්න ප්‍රධාන චරිතය දැක්කම මට නිකන් එන්නේ කම්මැලි හැඟීමක්. වීර චරිතයක් කියන හැඟීම නෙවෙයි. හැබැයි තාම ගේම් එක වැඩිය සෙල්ලම් කලේ නැති නිසා තීරණයක් දෙන එක අසාධාරණයි කියල හිතෙනවා.

2. මම තේරුම් ගත්ත විදියට මේ ගේම් එක හදල තියෙන්නේ දැනට තියෙන ගේම් එන්ජින් එකක් භාවිතා කරලා (Unreal Engine). ඒ කියන්නේ ගේම් එකේ සංකීර්ණ වැඩ කටයුතු ගොඩක් ඒ එන්ජින් එකෙන් සිද්ධ වෙනවා.

3. ගේම් එක පටන් ගන්නකොට දැනෙන හැඟීම ටිකක් කම්මැලියි වගේ. ඒ කියන්නේ ඉන්ට්‍රෝ එක  මදි වගේ. හවස ගෙදර යන්න ඕනේ කියන හැඟීමෙන් ඉන්න මාළු කාරයෙකුට සිද්ද වෙන අකරතැබ්බයක් වගේ හැඟීමක් එන්නේ. ගෙදර යනගමන් කියන මානසිකත්වය ආවම ගේම් ගහන්න හිතෙන්නේ නෑනේ.. හෙහ් හෙහ්

4. ඉන්ට්‍රෝ එකේ තියෙන කතාව පොඩ්ඩක් ආසා හිතෙන විදියට, ගේම් එකේ කතාව සහ සිද්දි කිහිපයක් එකතු කරලා පොඩ්ඩක් ආසා හිතෙන විදියට තිබුන නම් හොඳයි.

5. මුලින් ම ගේම් එක පටන් ගන්න තැන තියෙන ජැටියෙන් එලියට යන්න හෙන ගේමක් දෙන්න වුණා.  මොකක් හරි හේතුවක් නිසා යන්න තියෙන නියමිත පාර දිගේ අපේ වීරයා ඇවිදගෙන ගියේ නෑ. ඉතින් මට එපා වුණා. හැබැයි මමත්  අතාරින්නෙ නැතිව වීරයාව මුහුදට දාල ගොඩට අරන් ගියා.

6. කොහොම හරි වෙරළට ගිහින් ගේම් එක සෙල්ලං කරගෙන යනකොට දැනුනේ තියෙන දර්ශන වල පැහැදිලි බව සහ විස්තර සහිත බව තවත් වැඩි වුනානම් කියන එක.

මුලින්ම තියෙන වට පිටාවේ තියෙන යම් යම් අඩුපාඩු හින්ද වැඩි වෙලාවක් සෙල්ලම් කරන්න ආස හිතෙන්නේ නෑ. මම දන්නවා ඕවා හදන්න අමාරුයි කියල හැබැයි ඉතින් කරන වැඩේ උපරිම විදියට කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. මට හිතෙන්නේ ඒක ලාංකීය අපි හැමෝටම තියෙන අඩුපාඩුවක්. යන්තම් වැඩේ කෙරෙනවනම් ඇති කියල හිතෙන එක. හැබැයි උසස් තත්වය කියන එකට ලැබෙන වටිනාකම නිකම්ම නිකන් වැඩේ කෙරෙන දේකට තියෙන වටිනාකමට වඩා සෑහෙන්න වැඩියි. අලුත් වර්ෂන් වලදී හැදෙයි කියල හිතමු.

මම අන්තිමට නතර වුනේ අර අලියාගෙන් බේරෙන්න තියෙන තැනදී. ඊට පස්සේ ආයේ සෙල්ලම් කරන්න බැරි වුණා. වැඩි දෙයක් කියන්න අමාරුයි ඔක්කොම සෙල්ලම් කරන්නේ නැතිව.


කොහොම වුනත් ඉතින් ලංකාවේ අපේ වැඩක් විදියට අගය කරන්න ඕනේ. අනිත් පැත්තට නිකම්ම නිකන් ලංකාවේ අපේ වැඩක් විදියට මේ වගේ වැඩ කරලා වැඩක් නෑ. උපරිම තත්වයෙන් හදල ලෝකෙටම දෙන්න පුළුවන් විදියට හදන්න ඕනේ කියලයි මගේ අදහස. එහෙම ලෝකෙටම දෙන්න පුළුවන් විදියට හදන්න නම් ඉතින් අපේ කම කියන එකට වඩා ලෝකයේ මිනිස්සු හැමෝගෙම කම කියන එක ගැන හිතල මේ වගේ දේවල් හදන්න ඕනේ කියලයි මම හිතන්නේ.  මේ කණ්ඩායම මේක හදන්න වෙච්ච මහන්සිය අඩු තක්සේරු කරන්නේ නෑ. හැබැයි ඉතින් ඔය මහන්සියෙන් උපරිම ප්‍රයෝජනයක් තමන්ට සහ රටට ගන්න නම් අපිට ටිකක් විතර අපේ තියෙන මානසිකත්වයෙන් මිදිලා හිතන්න වෙනවා. 

මාස ගණනකට  කලින් ලියා අස්සක දමා තිබුණු මේක බ්ලොග් වසන්තය වෙනුවෙන් සුද්ද බුද්ද කර පින්තුර දමා පබිලිස් කරන ලදී  

Wednesday, March 29, 2017

ආච්චිගේ වයස

                      ගැහැනුන් ගේ වයස ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සලකන්නේ මන්දැයි මම නොදනිමි. නමුත් ඉතින් ඔය වයස හැංගිම තේරුමක් නැති වැඩක් බව ඒ පාර්ශවයේ අයට තේරුම් කර දීමටද නොහැක. කොච්චර හැංගුවත් කිරි ගහට ඇන්නා වගේ ඔය ගැහැණු ළමයින් ගේ වයස දැන ගැනීමේ අත් බෙහෙතක් ඇත. කාගේත් දැන ගැනීම පිණිස එය මෙසේය. ඔබ කැමති හෝ පොඩි හරි මෙව්වා එකක් ඇති ගැහැණු ළමයෙකුගේ වයස දැන ගැනීමට ඇති ඉතාම සරල ක්‍රමයක් නම් ඒ තැනැත්තියගේ ඊමේල් ඇඩ්රස් එක ඉල්ලා සිටීමයි. කිසි පැකිලීමකින් තොරව එය ඔවුන් ලබා දෙනු ඇත. බොහෝ විට ඊමේල් ඇඩ්රස් එකේ අවසානයට ඇත්තේ ඇගේ උපන් අවුරුද්ද වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මම මෙය බොහෝ තැන් වල පරික්ෂා කර ඇත. උදාහරණ ලෙස අපේ අක්කා සහ නංගි යන දෙපලම ලැජ්ජා බයක් නැතිව උන්ගේ උපන් අවුරුද්ද අගට ඇති ඊමේල් ඇඩ්රස් පාවිච්චි කරති. මම මේ සිටින රටේද එවැනි ඇඩ්රස් දැක ඇත. ඉතින් ඔය හංගන වයස ඔන්න ඔය ආකාරයෙන් දැන ගැනීමට හැකිය.

අපේ ආච්චිගේ වයස හරියටම දන්නා කෙනෙක් නැත. ආච්චි ඊමේල් පාවිච්චි නොකරන නිසා මගේ අත්බෙහෙතද වැඩක් නැත. ඇයගේ උපතට හෝ විවාහයට අදාළ කිසිදු ලියවිල්ලක් ඇය සතුව නැත. ජාතික හැඳුනුම්පතක් ඇත්දැයි දන්නෙත් නැත. දරු මුණුපුරන් ගෙන් සැදුම්ලත් 50ක්-60ක් පමණ වන ඇයගේ නෑ පරපුරෙන් ඇගේ වයස හරියටම දන්නා කිසිවෙකුත් නැත. 

ඇයගේ වයස අපි අනුමාන කරන්නේ අපේ ලොකුම ලොකු අම්මාගේ දැන් වයස අනුවය. අපේ ලොකුම ලොකු අම්මාට දැන් වයස 72කි. අනුමාන වශයෙන් අපේ ආච්චිට වයස විස්සේදී සිය පලමු දරුවා ලැබුනේයැයි සිතුවිට මේ වන විට ඇගේ වයස 92ක් විය යුතුය. ආච්චිට ඇගේ වයස ගැන හැඟීමක් නැත. ඉතින් ආච්චි වෙනුවෙන් ඇගේ වයස සඳහන් කරන අප ඇගේ වයස 90ට වඩා වැඩි බව අසන අයට පැහැදිලි කර දෙයි. 

ආච්චිගේ වයස සහ ඇගේ ජීවිතය පිළිබඳව සිතා බැලීමට සිත්වූයේ ගිය සතියේ සිදුවූ ඇගේ දෙවෙනි දියණියගේ හදිසි අභාවය වෙනුවෙන් ලංකාවට ගොස් සිටින විට ඔහේ බලාගෙන සිටින ආච්චි දෙස බලා සිටි මොහොතකය. 

ආච්චිගේ ජිවිත කතාව මම හරියටම දන්නේ නැත. නමුත් ඇගේ දෙමව්පියන්ද, ස්වාමියාද, මම දන්නා එක සොහොයුරෙක් ද, මම නොදන්නා තවත් බොහෝ නෑදෑ පිරිස් ද ඇයව හැර ගොස් බොහෝ කල්ය. මිට වසර 15කට පමණ පෙර සිදුවූ මගේ පියාගේ අභාවය ඇයට ප්‍රථම වරට ඇගේ බෑණනුවන් කෙනෙක් අහිමි කල අතර, වසර 4කට පමණ පෙර එක් මුනුපුරකුගේ සැමියෙකුද අහිමි කළේය. අවුරුදු 70ක් පමණ ආයු වළදා ඇගේ දෙවෙනි දියණිය හෙවත් අපේ ලොකු අම්මා ගිය සතියේ ඇයව හැර ගියේය. 

ලොකු අම්මාගේ අභාවය අප සැම තුල කම්පනයක් ඇති කලේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස එය සිදුවූ නිසාවෙනි. සිය පවුලට ඉතා ලැදි කරුණාවන්ත සහ මෘදු ගති ගුණ තිබු ලොකු අම්මා ගැන මගේ මතකය බොහෝ දුරට දිව යයි. මම කුඩා කල අපේ අම්මා සහ තාත්තා නිවසින් බැහැරව සිටින විට මාව නවතා තබන්නේ ලොකු අම්මාගේ නිවසේය. මට එහි සෙල්ලම් කිරීමට සිටියේ මගේම නැගණියයි. ලොකු අම්මාගේ දරුවන් මට වඩා වයසින්ගේ වැඩි මහලුය.  නංගිගේ සහ මගේ වයස් පරතරය අවුරුදු 2කි.  80 ගණන් වල සිදුවූ වැඩ වර්ජනයට ලක්ව රැකියාව අහිමි වී සිටි අපේ අම්මාට නංගි හම්බවුනු විටම නැවත ලැබුණු රැකියාවට යාමට උදව්වක් ලෙස ලොකු අම්මා නංගිව බලාගැනීමට බාරගෙන ඇති අතර ටිකෙන් ටික නංගි ලොකු අම්මාගේම දරුවෙක් ලෙස ලොකු අම්මා සමග හැදී වැඩුනේය. අපේ නංගි ලොකු අම්මාට අම්මා යනුවෙන් ද අපේ අම්මාට සුදු අම්මා ලෙසද අද වන තෙක් ආමන්ත්‍රණය කරයි. නංගි තාත්තා ලෙස කතා කලේ ලොකු තාත්තාටය. අපේ තාත්තාට ඇය ඇමතුවේ බාප්පා ලෙසය. නමුත් කිසිදිනෙක අපේ අම්මාට හෝ තාත්තාටවත් ලොකු අම්මාට හෝ ලොකු තාත්තාටවත් ඒ පිළිබඳව ගැටලුවක් නොතිබිණි. පවුලේ වෙන කිසිවෙකුට හෝ ගැටලුවක් නොවුනි. අපේ නංගි ඇත්ත නෑ කම් දැන ගත්තේ බොහෝ වැඩි මහලු වූ විටය. ඇයටද එය ඒ හැටි ගානක් නොවුනි.

එසේ වීමට හේතුව ලොකු තාත්තා සහ අපේ තාත්තා යනු එක පවුලේ සහෝදරයින් වීමය. ලොකු අම්මා සහ අම්මා විවාහ වී ඇත්තේ එසේය. කොළඹ වරායේ කම්කරුවෙකු ලෙස රස්සාවට බැඳුනු ලොකු තාත්තාට කපුවෙක් මාර්ගයෙන් සිදු කෙරුණු මගුල් යෝජනාවකින් ලොකු අම්මා විවාහ කරගෙන ඇති අතර අයියාට සපෝර්ට් එකට ලොකු අම්මලාගේ ගෙදර ගිය අපේ තාත්තා අම්මාට ලයින් එක දමා වැඩේ ගොඩ දාගෙන ඇත. ඉතින් අපේ පවුල් දෙක දෙකක් නොව එකකි. 

ලොකු අම්මා ගැන ලියා තැබීමට බොහෝ දේ නැතත් ඇය තුල තිබු මෘදු ගතිය සහ කරුණාවන්ත කම ගැන බොහෝ දේ ලිවිය හැකිය. නිවසට වී සිය සැමියාට සහ දරුවන්ට සැලකීම පමණක් ඇයගේ ජීවිතය විය. එවන් ජිවිතයක් ගෙවීම ගැන වෙනම ලිවිය යුතුය. මට හිතෙන්නේ ඇගේ ජීවිතය සාර්ථක ලෙස ඇය ගෙවා නිම කර දැමු බවයි. සංකීර්ණ දේ පසු පස හඹා ගොස් හෙම්බත්වනවාට වඩා සරලව සැමියා සහ දරුවන් සමග අවසාන මොහොත තෙක් ඇය ඇයගේ ජීවිතය ගෙවා දැමුවාය. සිය පවුල වෙනුවෙන් යැයි කියමින් අපි බොහෝ දෙනා ඉබා ගාතේ දුවමින් වඩා හොඳ ජිවිතයක් වෙනුවෙන් අරගල කරයි. ඒ අරගල අස්සේ අපට අමතක වී යන්නේ ඒ සිය පවුල සමග ජිවත් වීමටයි. අවසානයේ අරගලය අතරතුර අප පවුල හැර යාම හෝ පවුල අප හැර යාම සිදුවේ. අරගලය කලේ කුමකටදැයි අපට සිහි වන්නේ එසේ හැර යන අවසාන මොහොතේදීය. ඒ අතින් ලොකු අම්මා සිය ජීවිතය විඳ සැනසිමට පත්වන්නට ඇත.

ලොකු අම්මාගේ ජීවිතය එසේ නිමාවූ පසුවත් ආච්චි ගේ ජීවිතය ඔහේ ගලාගෙන යයි. ඇසීම සහ පෙනීම මද වශයෙන් අඩුවී තිබීම හැර වෙන අවුලක් නැති ආච්චි හොඳින් හැරමිටි වාරුවෙන් ඇවිදියි. දිනපතා අවම වශයෙන් කිලෝමීටර් 2ක් වත් සිය දූ දරුවන්ගේ නිවෙස් අතර ඇය ඇවිදියි. ඒ වාසනාව අයට ලැබී ඇත්තේ ඇගේ දරුවන් එකම කිට්ටුව පදිංචිව සිටින බැවිනි. ඒ හැම නිවසේම සිදුවන දේ ගැන ඇය තවමත් අවධානයෙනි. නමුත් කාටවත් වදයක් වන විදියට හැසිරී නැති අතර, කිසිවෙකුත් ඇයව වදයක් ලෙස නොසලකයි. කියන දෙයක් ටිකක් සද්දෙට කීමට සිදු වීම හැර වෙන කිසි අවුලක් කාටවත් නැත. 

අදටත් ඇගේ පවුලේ සියලු දෙනා එකාමෙන් එකතු වේ. දරුවන් මුනුපුරු මිනිපිරියන් සහ ඔවුන්ගේ දරු දැරියන් අතරත් සාමය සහ සමාදානය එකසේ පිහිටන සේ ජිවත් වීමට ඒ සියලු දෙනා හුරුපුරුදු වී ඇත. එය ආච්චි විසින් බලෙන් සිදු කල දෙයක් නොව කිසිවක් නොකර ඔහේ බලාසිටීමෙන් දුන් ආදර්ශය නිසා සිදුවූවක් බව මට සිතෙයි. හැමදේම සොයා බලා දන්න තරමින් උපදෙසක් දෙන ඇය ඒ දේ වුනාදැයි නැවත සොයා බලන්නේ නැත. සිදු කිරීම හෝ නොකිරීම අපට බාර දී ඇය ඔහේ බලා හිඳියි.  ලොකු අම්මා අසනීප වී රෝහලේ අසාධ්‍ය වී සිටින විට අපේ අම්මා සිටියේ නංගි සමග ඕස්ට්‍රේලියාවේ ඇගේ කුඩා දියණිය සමගය. අක්කා අම්මා සමග දුරකතනයෙන් කතා කරනු අසා සිටි ආච්චි අම්මාට පවසා ඇත්තේ "උඹ එන්නේ නැද්ද ජේසංව බලන්න" (ජේසං යනු අපේ ලොකු අම්මාගේ නික් නේම් එකය).  කෝල් එක දී වරුවක් යන්නට පෙර තනියෙන් ට්‍රාන්සිට් ගෙන රට යන්නට බයේ සිටි අපේ අම්මා නැවත ලංකාවට එන්නට ගුවන්ගත වී හමාරය. 

අපේ පවුල වැඩිහිටියන්ට ගරු කරන පවුලකට වඩා වැඩිහිටියන් සමග යාළුවන් සේ සිටින පවුලකි. කට්ටිය සෙට් වූ විට මඩක් නොවැදී සිටීමට හැකි කිසිවෙක් නැත. කොටින් ම ආච්චිටත් එයින් ගැලවීමක් නැත. ගහන මඩක් ඇහුනත් නැතත් ඔන්න ඔහේ සිනාසී සිටීම ඇගේ සිරිතයි. මඩ ගැසීමත් ඇගේ ජානවලින්ම අපට ලැබෙන්නට ඇත. 

ආච්චිගේ ජීවිතය ගැන සිතා බලන විට දැනෙන්නේ මහා පුදුමයකි. අවුරුදු 90ක් තිස්සේ දහසක් හැලහැප්පීලි වලට මුහුණ දීමට ඇගේ සිත කෙසේ  සවිමත් වුවාදැයි විටෙක සිතා ගත නොහැක. අපි අද සොයන සැප වර්ග කිසිවක් විඳ නොමැති ඇය, අපිට සිහිනෙන්වත් සිතාගත නොහැකි තරම් දුක් ගොඩකට මුහුණ දී ඇත. අප කොතරම් ලාමකදැයි සිතෙන්නේ මෙවැනි ජිවිත ගැන මදක් සිතා බලන විටය.

ආච්චිගේ ජිවිත කතාව අසාගෙන ලියා තැබීම වටී. මේ කලබල ඉවර වූ විට එය කල යුතුය. වයසක මිනිසුන් සමග කතා බහ කිරීම මම ඉතා ප්‍රිය කරන වැඩකි. මල ගෙවල් වල නිදි මැරීම අපුරු වැඩක් වන්නේ එවැනි මිනිසුන්ගේ ජිවිත කතා එලියට ගන්නට නියම අවස්තාවක් ලබා දෙන බැවිනි. මෙවරද අපේම තවත් දුරස්ථ නෑයෙකුගේ තරුණ කාලයේ වීරක්‍රියා අසා සිටීමේ අවස්තාවක් ලැබුණි.

අපිට අපේ ජිවිත ගැන නැවත සිතා බැලීමට අවස්තාවක් මෙවැනි වැඩි මහලු අයගේ ජිවිත දෙස හැරි බලන විට ලැබේ. මහා මිනිසුන්, දක්ෂයින් සහ හෙන චරිත ලෙස සිතා සිටින අපි කොතරම් මල් මල් ටින් ටින් දැයි සිතෙන්නේ ජීවිතය ජිවත් වූ මිනිසුන් ගේ ජීවිතය ගැන සොයා බලන විටය.


මිට වසර 3-4කට පමණ පෙර ගත් අපේ ආච්චිගේ ෆොටෝ එකක්

Tuesday, February 28, 2017

පුනරාවර්තනය




ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා කියන එක ගැන ඔය කාට හරි සැකයක් තියෙනවනම් මෙන්න මේ කවිය කියවල ඔය ලින්ක් එකට ගිහින් බලන්න.. ඔබගේ සැක සංකා හිරු දුටු පිණි බිඳු මෙන් දියවෙලා යාවි.. රට්ටු කියයි එක එක කතා. හැබැයි ඇත්තම හේතුව නම් ඉතිහාසය නැවත නැවතත් සිද්ධ වීම කියන මහා බලගතු ක්‍රියාදාමයට අසරණ මාව අසුවීම.. එහෙම නැතිව මම කවදාවත් මේ බ්ලොග් එක ලිවීමට කිසිම කම්මැලි කමක් දක්වන මනුස්සයෙක් නෙවෙයි නේ... මම ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කියවන අය දන්නවනේ.. හැබැයි කොච්චර කඩිසර, උනන්දු, උද්යෝගී තව ඒවා මේවා ඔක්කොම තියෙන මනුස්සයකුට වුනත් ඔය ඉතිහාසය නැවත නැවත සිදු වීම වලක්වන්න බෑ..  ඉතින් පෙබරවාරි කියල නෑ ඕවා වෙනවා. වැඩේ කියන්නේ මට ඕක වෙන්නෙම පෙබරවාරි වලදී.. මට හිතෙන්නේ මට නොපෙනන අදිසි හස්තයක කුමන්ත්‍රණයක් මෙතන තියෙනවා.. ඒ කියන්නේ පෙබරවාරි මාසයේදී මට මේකේ මොනවත් ලියන්න නොහිතෙන තත්වයට පත් කරන ඉතාම සියුම් කුමන්ත්‍රණයක්.. අධික නිදිමත වගේ ඉතා ම සියුම් අකාරයෙන් ඔය කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ. 

ඉතින් මම වගේ ඔය මොන්ටිසෝරි කාලේ ඉඳල මේ බ්ලොග් ලියන්න නියම පරිචයක් ලබා ගත්ත නැති කෙනෙකුට ඔය වගේ සියුම් කුමන්ත්‍රණ වලින් බේරෙන්න අමාරුයි. අනිත් එක අපි කවදාවත් ඉතිහාසය රිපීට් වීම වගේ ස්වාභාවික ක්‍රියාදාම වලට බාදා කරන්න හොඳ නෑ.. ඒවා ඒ විදියට වෙන්න අරින්න ඕනේ. ඕව බ්ලොග් ලෝකෙටත් අදාලයි.

නමුත් මිත්‍රවරුනි මේ අවස්ථාවේදී මම ඉතාම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි ලබන මාසයේදී මේ සම්බන්ධයෙන් නියම පරිචයක් මොන්ටිසෝරි කාලයේදීම ලබා ගත් බ්ලොග් කරුවන් එහෙම ඉන්නවනම් ඒ අය හම්බ වෙලා මේ වගේ සියුම් කුමන්ත්‍රණ වලින් බේරිලා මොනවා හරි ලියන්න මේ අවස්ථාවේදී මම ඔබ තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා. 

මේ වගේ යහපාලනය රජයන යුගයක පොරොන්දු ගැන විශ්වාස කරන්න කියල මම ඔබ තමුන්නාන්සේලාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.

Monday, January 02, 2017

නැවත හමු නොවන සඳ ! අනාථ ජිවිත


     හිරු මුහුදේ ගිලී යමින් ටිකෙන් ටික අඳුර ගෙනෙන සැන්දෑ යාමයේ මුහුදු වෙරළේ සැන්දෑ සුව විඳිමින් සතුටු වන තරුණ පෙම්වතුන්, දරු පැටවුන් සමගින් ආ දෙමාපියන්, ජිවිතයේ සැන්දෑ සමය ගෙවා දමමින් සැනසිලි සුව විඳින මහල්ලන් අතර නොනවතින රැලි වලට දෙපා තෙමා ගනිමින් වෙරළ දිගේ ඇවිදින තරුණයෙකි.

ඔහුගේ වයස හරියටම හිතා ගත නොහැකි වුවත් ජිවිතයේ දෙවෙනි දශකය ගෙවා දමමින් සිටින බව සිතිය හැක. වෙරලේ සතුටු වන මිනිසුන් වෙනුවෙන් ඇති නොයෙකුත් ජල ක්‍රීඩා ගැන කිසිදු උනන්දුවක් නොදැක්වූ ඔහු අත රැඳුනේ දියෙන් දුර්වර්ණ වී ගිය කොටු කැබැල්ලකි.  රැල්ලෙන් සේදී යන වැල්ලේ යමක් ලියන්නට ඔහු දැරූ මහන්සිය කිහිප විටක් සේදී ගියද එයින් සැලුනේ ඔහු නොවේ.  තාරුණ්‍යයේ ජවය බාධක හමුවේ නොසැලෙන බව ඔහු නිහඩව කියා පෑවේය.

වැල්ලේ විනෝද වෙන සියක් දනන් දෙස ඔහේ බලා සිටි මගේ දෑස් මේ තරුණයා වෙත යොමු වුයේ ඔහු මේ රැල්ල සමග තරඟයට මෙන් වැල්ලේ ලියන්නට තැත් කරන දේ කියවීමට ඇති වුනු කුතුහලය නිසාවෙනි. අනුන්ගේ දේ සෙවීමේ සහජ ආශාවට  ඔන්න ඔහේ ඉඩ දුන් සැනින් වැල්ලේ අඩි කිහිපයක් ඉදිරියට ඇදි ගියේ නිරායාසයෙන් මෙනි. 

I MISS එවර ඔහුට ලියා ගත හැකි වුයේ එපමණකි. රැල්ල ඔහු පැරදුවේය.

I MISS YO.. රැල්ල පරදවා ඔහු මදක් ඉදිරියට ගියේය..

ෂුවර් එකට බූට්‌ එකක් කාපු එකෙක්.. කිසිවක් නොදන්නා අනුන් ගැන තීරණ ගැනීමේ සහජ හැකියාව මට උපදෙස් දුන්නේය..

I MISS YOU M..

"කෙල්ලගේ නම M වලින් වෙන්න ඇති පටන් ගන්නේ.. හෙහ් ..  පිස්සෙක්.. කොල්ලෝ කාලේ ඉතින් ඔහොම නේ.." තමුන්ගේ අතීතයෙන් අනුන්ගේ වර්තමානය සහ අනුන්ගේ අනාගතය ගැන කරුණු කාරනා පැහැදිලි කර දීමට ඇති සහජ හැකියාව මට තේරුම් කර දුන්නේය.

තරමක් ලොකු රැලි කිහිපයක් නිසා මුහුදු වෙරළ සුමට වූ පසු වඩා වේගයෙන් ඔහු නැවත මුල සිට කොටු කැබැල්ලෙන් වෙරළ හැඩි කළේය.

මෙවර ඔහු රැල්ල පැරදුවේය

"I MISS YOU MOM"

තීරණ දීමට පණ්ඩිත වූ මොළයට අතුල් පහරක් එල්ල කරමින් කීරි ගැසුණු හදවත මොහොතකට නතර විය.

අපේක්ෂා භංගත්වයකින් වැසි ගිය අසරණ කමකින් යුතුව ඔහු කොටු කැබැල්ලත් අතින් ගෙන මට අඩි කිහිපයක් නුදුරින් මුහුදට පිටුපා නැගී සිටියේය.

මා ඔහු ලියු දෙය දුටු බව ඔහු දැන ගත්තේය. ඒ මගේ ඇස් ඒ වන විට රැල්ලෙන් මැකී යමින් තිබුණු ඉරි කැබලි දෙසට යොමු වී ක්ෂණයකින් ඔහු දෙසට නැවත යොමු වූ බව ඔහු දුටු නිසාවෙනි.

"I'AM A ROHINGYA"

ඔහු කතාවට මුල පිරුවේය

සිංහල බෞද්ධ අප සැමගේ හිත සුව පිණිස කතාව මෙතැන් සිට සිංහලෙනි.

කතාව ට පෙර ROHINGYA ගැන යමක් පැහැදිලි කරදීම වැදගත්.

දැනට ලෝකයේ සිටින වඩාත් ම හිංසාවට පත් ජන කොටසක් ලෙස හඳුන්වන ROHINGYA අනාථයින් යනු අන්තවාදී බෞද්ධයින් ගෙන් එල්ල වන මර බියෙන් මිදීමට ජීවිතය පරදුවට තබා අනාරක්ෂිත බෝට්ටු මාර්ගයෙන් මියන්මාරයේ (බුරුමයේ) සිට ගිනිකොන දිග ආසියානු රටවලට පැමිණෙන මියන්මාරයේ Rakhine නම් ප්‍රදේශයේ වෙසෙන සුළුතර මුස්ලිම් ආගමික ජන කොටසක්. බෝට්ටු මිනිසුන් ලෙස පොදුවේ හදුන්වන මේ මිනිසුන්  හොර ජාවාරම් කාර බෝට්ටු මාරගයෙන් සිය දිවි බේරා ගැනීමට මුහුදට පනින්නන්.

මෙම ආගමික සංහාරය ගැන අන්තර්ජාලයේ සඳහන් තොරතුරු වලට අනුව නම් මියන්මාර් රජය මේ මිනිසුන් සමුලගාතනය කිරීමේ සැලසුමක් තමයි ගෙනි යන්නේ.   ඔවුන් සිය රටේ වෙසෙන තවත් ජනකොටසක් විදියට පිළිගැනීමට මියන්මාර් රජය   සුදානම් නෑ. ජාත්‍යන්තරව රටක් නැති මිනිසුන් (stateless entities) විදියට තමයි මේ Rohingya අනාතයින්ව හඳුන්වන්නේ. බෞද්ධයින් සහ මුස්ලිම් වරුන් අතර මියන්මාරයේ පවතින මේ ගැටුම් ගැන මම වැඩි දෙයක් දන්නේ නැති නමුත් මේ ගැටුම දශක කිහිපයක් තිස්සේ තියෙන දෙයක්. 2012 දී පමණ කණ්ඩායමක් විසින් මියන්මාරයේ බෞද්ධ කාන්තාවක් සමුහ දුෂණය කිරීම මේ ගැටුම් උග්‍ර වීමට හේතුවක් විදියට සඳහන්. 

දැනට මේ මිනිසුන් මියන්මාරයේ සිට මැලේසියාව , තාලන්තය, ඉන්දුනීසියාව ආදී රටවලට බෝට්ටු මාර්ගයෙන් පැමිණෙනවා. ජාත්‍යන්තර මැදිහත් වීම නිසා මේ රටවල් දැන් මේ මිනිසුන් ව තම රටවලට බාර ගැනීමට ඉඩදී තියෙනවා. 

මැලේසියාවට අයත් Penang දුපතේ වෙරළේදී තමයි මට මේ Rohingya තරුණයාව හමුවුනේ

"ආ මම ඔබලා ගැන දන්නවා. මට හරිම කනගාටුයි"

ඔහුගේ හඳුන්වා දීමට මගේ පිළිතුර වුනේ ඒක. මේ මිනිසුන් ගැන වැඩි විස්තරයක් මම නොදැන සිටියත් එහෙන් මෙහෙන් කියවන ප්‍රවෘත්ති නිසා යමක් දැන සිටීම මේ වෙලාවේදී මට ප්‍රයෝජනවත් වුණා.

"ඔයා කොහොමද මෙහෙට ආවේ" බෝට්ටු කතාව දැන දැනත් මම ඔහුගෙන් එහෙම ඇසුවේ සාකච්චාව දික් කරගැනීමේ අරමුණින්. 

"හැමෝම වගේ බෝට්ටුවෙන් තමයි. දවස් 3ක් කෑම මොකුත් නැතිව බෝට්ටුවේ ආවා. අපිත් එක්ක ආපු 25 දෙනෙක් මගදී මැරුණා. කන්න බොන්න නැතිව. වතුර ටිකක් විතරයි තිබුනේ"

"ඔබගේ මවට මොකද වුනේ?"

වැල්ලේ සටහන සිහිපත් කරමින් මම ඇසුවා.

"අම්මට මාත් එක්ක එන්න බැහැ. බෝට්ටු ගමන ඇයට දරන්න බැහැ. බොහෝ අය අතර මගදී මැරෙනවා."

"මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි  ඔයාට පුළුවන් නේ වෙන විදියකට අම්මව ගෙන්න ගන්න. "

"වෙන විදි මොකුත් නෑ" එහෙම තිබුන නම් අපි මෙහෙම එන්නේ නෑ..

"හ්ම් මට තේරෙනවා.."

"නමුත් ඔබලාට වෙන රටවලට යන්න පුළුවන් නේ. ඇයි මුහුදින් එන්නේ? මියන්මාරය ලෝක සිතියමේ ඇති තැන ගැන හරි  මතකයක් නොමැතිව මම ඔහුගෙන් ඇහුවා.

"කොහේ ගියත් වෙනසක් නෑ. අඩුම තරමේ ටිකක් දියුණු රටකට ආවම අපිට හොඳට ඉන්න පුළුවන්. එකයි මෙහෙ එන්නේ. වෙන කොහේ යන්නද"

වැඩි තන්හාවට ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන මිනිසුන් ඉන්න රටක මිනිහෙක් විදියට එහෙම අහන එක මෝඩයි නේද කියල මගේ යටි හිත ඒ වෙලාවේ මට කිව්වා.

"මට හරිම කණගාටුයි.  මම ඔබලා ගැන විස්තර ටිකක් දන්නවා. ඇත්තටම හරිම කණගාටු දායක තත්වයක්. මොකක් ද ඕකට හේතුව?"

"ඔවුන්ට ඕනෑ අපි ඔක්කොම මරන්න. ඔබ ethnic cleansing ගැන දන්නවද? මියන්මාර් රජයට ඕනේ අන්න ඒක."

"හරියට හිට්ලර් යුදෙව්වෝ මැරුවා වගේ" මම ඔහුට කිව්වා. ඔහුගේ මුහුණේ තිබුනේ අන්ත අසරණ හැඟීමක්. නමුත් ආචාරශීලි වීමට ඔහු මා සමග සිනා සුනා.

"මම ශ්‍රී ලාංකිකයෙක්. මමත් බෞද්ධ තමයි. සැබෑ බෞද්ධ ආගම අවිහිංසාවාදී ආගමක්. හරිම කනගාටුයි බෞද්ධයින් අතින් ඔබලාට සිදු වෙන හානිය ගැන. නමුත් මේ අන්තවාදීන් ගැන අපිට කරන්න දෙයක් නෑ. හැම ආගමකම ඔවුන් ඉන්නවා."

"ඔබට ඉන්න තැනක් තියෙනවද? ඔබ මෙහෙ මොකද කරන්නේ?"

මනුස්සයෙක් අසරණයි කියල දැනුන ගමන් අපේ ඔළුවට එන සල්ලි කීයක් හරි දුන්න නම් හරි කියන හැඟීමෙන් මම ඇහුවා.

"ඔව් මට ඉන්න තැනක් තියෙනවා. මම NGO එකක වැඩ කරනවා. එහෙම කරදරයක් නෑ දැන්. හැබැයි මට අම්මා නැතිව පාලුයි. මට ඒකට කරන්න කිසිම දෙයක් නෑ."

සල්ලි වලින් සැනසිය නොහැකි දුක්ක දෝමනස්සයන් තව බොහෝ ඇති බව බෞද්ධ මට, මුස්ලිම් ඔහු මතක් කරලා දුන්නා.

වෙරළේ මදක් එහායින් සිටි පවුලේ අය හමුවීමට මම ගියේ ඔහු හා කතාව ටිකක් දුර ගෙනයාමට මට අවශ්‍ය වූ බැවින් ඒ බව පවුලේ අයට දැන්වීමට. 

මම ඔහුගෙන් මොහොතකට සමුගෙන ආපසු හැරි ගොඩබිම පැත්තට ගියා. ඔහු සිනාසී මුහුද දෙස බලන්නට ඇති. මට හරියට මතක නෑ. 

මිනිත්තු කිහිපයකින් මම ආපසු හැරී බලන විට ඔහු එතැන සිටියේ නෑ. වෙරළේ සිටි බොහෝ ජනයා අතරට ඔහු දියවී ගොසින්. මට නැවත ඔහුව සොයා ගැනීමට හැකි වුනේ නෑ.

සමහර විට පවුලේ නෑසියන් සමගින් සැපවත් ජිවිතයක් ගෙවන මගේ අනුකම්පාවෙන් ඔහුට වැඩක් නැතැයි ඔහුට දැනෙන්නට ඇති. 

වාර්ගික ගැටුම් , ආගමික ගැටුම් ගැන අතොරක් නැතිව ඇසෙන මේ කාලයේ ඒ දේවල් අපිට දැනෙන්නේ සිල්ලර ගානට. මහ ජාතියක් වෙලා ඉන්න කම් සුළු ජාතියකට දැනෙන හැඟීම හරියට තේරුම් යන්නේ නෑ. ඔක්කොටම වඩා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ටතම ආගමක් අවුරුදු 2500ක් තිස්සේ පුද පුජා කරමින්, වන්දනා මාන කරමින් රැකගෙන ආපු ජාතියක් විදියට ඒ ආගමේ මුලික ඉගැන්වීමක් වෙච්ච මනුස්සකම අපිට අමතක වෙලා තිබීම පුදුමයකුත් නෙවෙයි. 

ආගම වෙනුවෙන් ජිවිතේ පුජා කරන මානසික ලෙඩුන් ට වන්දනා මාන කරන අපිට ආගම වෙනුවෙන් තව මනුස්සයෙක් මරණ එකත් දැන් මහ ලොකු දෙයක් නෙවේ වගේ. සමහර විට ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ මං ගැන Rohingya  මුස්ලිම් ඔහුට දැනෙන්න ඇත්තේ ඒ වගේ හැඟීමක්.

සියල්ල අවසානයේ ආපසු එන ගමන් මට දැනුන එකම සහනය වුයේ සියලු ආගම් වලින් සිත නිදහස් කර ගෙන ජිවත් වීමට මම පුරුදු වී සිටීමේ වැදගත් කමයි. මම බෞද්ධ වන්නේ රාජකාරි කටයුතු සහ ඔය සීනිබෝල සමාජ කටයුතු වල පහසුව සඳහා පමණක් වීම ගැන මට දැනුනේ සහනයකි. 

අදහන ආගම අනුව හොඳ නරක තීරණය කර සැප දුක වර්ග කර ලබා දෙන බාල මට්ටමේ මෙහෙයුම් පද්ධතියකින් හෝ එවැනි බාල වර්ගයේ අදහස් ඇති සර්ව බලධාරියෙකුගේ අතින් මේ විශ්වය මේ තරම් අපුරුවට නිර්මාණය වුවා යැයි පිළිගැනීමට මගේ හිත කවදාවත් මට ඉඩ දුන්නේ නැත. සමහරවිට ආගමික ග්‍රන්ථ සියල්ල කියවා අවසන් කල අයට ඒවා හරියට ම තේරෙනවා ඇති. 

බමුණෙක් හෝ වසලයෙක් ලෙස නොව  මිනිසා මිනිසෙක් ලෙස  දැකීමට අපිට හැකි වන තාක් අප සියල්ලෝම අනාථ බව පමණක් මට අවසානයේ තේරුම් ගියා.


Monday, December 12, 2016

යල්පැනගිය සම්භාව්‍ය පොතක්

           
            ලෝක සාහිත්‍යයේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච පොත් උනත් ඉතින් සමහර වෙලාවට කියෙව්වට පස්සේ වැඩක් නෑ කියල හිතෙනවා. කියවන පුදගලයාගේ රුචි අරුචි කම් අනුව ඉතින් ඕක වෙනස් වෙනවා තමයි. මම මේ ලඟදි මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත කියෙව්වා. ගොඩක් කාලයක් තිස්සේ ළඟ තියාගෙන හිටියටත් නොකියවා තිබුණු පොතක්. ඔන්න ඔහේ කියවල දැම්ම. ඒ පොත ගැන මම හිතාගෙන හිටියේ හෙන වෙනස් විදියකට. ඒ කියන්නේ මාතෘත්වයේ ප්‍රතිමුර්තියක් වෙච්ච කාන්තාවක් ගැන ලියවෙච්ච කතාවක් වෙන්න ඇති කියල. මොකද ඒක ඒ තරම් සාහිත්‍ය ලෝකේ ජනප්‍රිය සහ මිනිස්සු පිළිගන්න පොතක් නිසා. 

              මම කියවපු පරිවර්තනය "දැදිගම වී රුද්‍රිගු" මහත්මයා විසින් පරිවර්තනය කරපු එකක්. එහි පරිවර්තන ශෛලිය නම් මට අල්ලලා ගියා. ලාංකීය අපිට දැනෙන විදියට අපේ භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙන නිසා. රුසියානු සාහිත්‍යට අපේ ඇති මේ කැමැත්තට හේතුව මේ පරිවර්තකයින් ඒවා ලස්සනට පරිවර්තනය කිරීම වෙන්න ඇති කියල මට හිතුනා. නැත්නම් අපිට කොහෙත්ම නුහුරු නුපුරුදු දේශයක් ගැන ලියවෙච්ච කතා වලට අපි මේ හැටි කැමති මොකද? මම ඔය රුසියන් නොවන වෙනත් විදේශික පොත් කියවල තිබුනට කවදාවත් ඒ රටවල් ගැන ලොකු ආසාවක් දැනෙන්නේ නෑ.. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා රුසියන් පොත් කියෙව්වම ඒ රට ගැන ආසාවක් ඇති වෙනවා. සමහර විට ඒ සංස්කෘතිය අපිට වඩා සෑහෙන වෙනස් නිසා වෙන්න ඇති. හැබයි ඉතින් ගේබ්‍රියල් ගාසියා මාකේස් ගේ පොත් කියෙව්වට ඒ පොතට සහ ගත් කරුවා ගැන කැමැත්තක් සහ ඇති වෙනවා මිසක් කොලොම්බියාව ගැන ආසාවක් ඇති වෙනවද? කොලොම්බියාවයි ලංකාවයි කියන්නෙ කිසිම සංස්කෘතිකමය වශයෙන් සම්බන්ධ කමක් නැති රටවල් දෙකක් නේ.. රුසියාවයි ලංකාවයි වගේ. රුසියාව විතරක් මෙච්චර අල්ලලා යන්නේ මොකද අපිට.. හෙහ් හෙහ්..

             අවුරුදු 5-6ක් විතර පොත් ගොඩ අස්සේ තියාගෙන ඉඳල  මම මේ "අම්මා" පොත කියෙව්වා. පොත කියවල ඉවර වුනාම මට හිතුනේ මේ "අම්ම" ගේ තියෙන අනිත් අම්මලාගේ නැති අමුතු විශේෂත්වය මොකක් ද කියන එක. ඒ පොත ලියවෙච්ච කාලයට සාපේක්ෂව වුනත් මට ඒ "අම්මා" ගේ චරිතය ඒ තරම් වැදගත් දෙයක් කරපු චරිතයක් විදියට දැනුනේ නෑ. පුතා කරන විප්ලවයට සහය දෙන අම්මල ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවනේ. ඔය පොතට පාදක වෙච්ච විප්ලවය සහ ලෝකයේ සිද්ද වෙච්ච බොහෝ කම්කරු අරගල වල මේ වගේ අම්මලා ඕනේ තරම් ඉන්න ඇති. ඉතින් මේ "අම්මා" ගේ චරිතයේ ඇති විශේෂත්වය මොකක් ද? පොතේ තව කාන්තා චරිත කිහිපයක්ම විස්තර වෙනවා. ඉතින් විප්ලව වලට කාන්තා සහභාගිත්වය වගේ අරුතකින් බැලුවත් ලොකු දෙයක් නෙවෙයි වගේ. අනේ මන්ද මට හිතුනේ එහෙමයි. ඒ පොත සාහිත්‍ය ලෝකයේ මෙච්චර පිළිගැනීමට ලක්වීමට හේතුව මොකක් ද කියලා මට හිතා ගන්න අමාරුයි. පොතේ පෙරවදනේ තියෙන විදියට පොතේ කතාවට පදනම් වෙලා තියෙන්නේ 1902 දී සොර්මොවෝ කියන නගරයේ ඇති වෙච්ච මැයි දින පෙළපාලිය සහ එයට මුලික වෙච්ච පාවෙල් ව්ලාසව් සහ ඔහුගේ මවගේ කතාව. මේ චරිත ප්යෝතර් සලොමොව් සහ ඔහුගේ මව වූ ආන්නා කිරිලොව්නා සලොමොවා ගේ චරිත අනුසාරයෙන් බිහිවී ඇත. ඔවුන් සැබවින්ම මේ විප්ලවයට සහභාගී වූ විප්ලව වාදීන්. 

               සමාජවාදී විප්ලවීය අදහස් දරන අයට මේ වගේ කතා  වැදගත් වුනාට සමස්ත සාහිත්‍යය ගැන හිතුවම මට නම් ඒ කතාව එච්චර අල්ලලා ගියේ නෑ. මට කොහොමත් ඔය සමාජවාදී අරගල සහ ඒ වගේ අදහස් එච්චර දිරවන්නේ නැති නිසා වෙන්න ඇති. ජිවන අරගල වල යෙදිච්ච පරමාදර්ශීය අම්මාවරුන් ගේ චරිත ඕනේ තරම් තියෙද්දී දේශපාලනික අදහස් නිසා පමණක් සාර්ථක වෙච්ච පොතක් වුනත් "අම්මා හෝ මව" කියන චරිතයට සාධාරණයක් ඉටු වෙච්ච  පොතක් විදියට මට නම් මේ පොත ගැන හිතුනේ නෑ.. 

මේ තියෙන්නේ මම කියවපු පොත...


පින්තුරය - මැක්සිම් ගෝර්කි ගේ අම්මා කෘතියේ කවරය

           සමහර පොත් සර්ව කාලීනයි. ඕනෙම සමාජයක ඕනෙම කෙනෙකුට ඕනෙම කාලෙකදි එක හා සමාන විදියට රසවිඳින්න පුළුවන්. ඒත් සමහර පොත් ඒ ඒ කාලයට සාපේක්ෂව හොඳට වුනාට පස්සේ කාලෙකදී කාලයත් එක්කම යල්පැන ගිය ගතියක් එනවා. මට හිතෙන්නේ මේ පොත එහෙම යල්පැනගිය පොතක්. මම මැක්සිම් ගෝර්කිගේ පොත් ගොඩක් කියවල නෑ. මට මතකයි මම ඔහුගේ "කමකට නැති එකෙකුගේ ජීවිතය" කියල පොතක් කියෙව්වා. ඒ පොත අවසානයේ මට හිතුනේ ඇත්තටම ඒ පොත පට්ට සිරා මොකද කතාව කියවල ඉවර වුනාම කතාවේ එන චරිතය සිරාවටම කමකට නැති චරිතයක් නේද කියල මට දැනුන නිසා. නමුත් මේ කතාවේ අම්මා ගේ චරිතය නියම අම්මා කෙනෙක් නේද කියන හැඟීම පොත කියවල ඉවර වුනාම දැනුනේ නෑ..  මීට වඩා අම්මල මුණ ගැහිලා තියෙනවා නේද කියල හිතුනා. 

දැන් කියවන්නේ සමුගනිමු ගුල්සාරි.. ඒක නම් දැනට අල්ලලා යනවා. මම හිතන්නේ අස්සයින්ගේ කතා සර්ව කාලිනයි..

Tuesday, November 22, 2016

ඇගේ ඇස අග - Let her cry


මම මිට කලින් අශෝක හඳගම ගේ ෆිල්ම් එකක් මුල සිට අගට බලා ඇත්දැයි අවංකවම මට මතක නැත.  ඔය වැඩිහිටියන්ට පමණක් වෙච්ච කොටස් ටික නම් අනිවාර්යයෙන් කොහෙන් හෝ හොයා ගෙන බලන්න ඇති මුත් සම්පුර්ණ කතාව නිදහසේ බැලු බවක් නම් මතකයේ නැත. ඉතින් මම කවදාවත් අශෝක හඳගම නම් නිර්මාණ කරුවා ගැන විවේචන හෝ වර්ණනා කිරීමට උත්සාහ දරා නැත. එහෙම කිරීමේ හැකියාවක් මෙතුවක් කාලයකට තිබී ද නැත. කිරි ගහට ඇන්නා වගේ ඉදිරි අනාගතයේදී එහෙම හැකියාවක් ලැබෙන්නේද නැත. 

අහම්බෙන් මෙන් මගේ ඇස ගැටුණු "ඇගේ ඇස අග" දුටු විට මට හිතුන දේ ජොලියට මේන් ලියා තබමි.

පින්තුරය Let her cry සිනමා පටයේ ප්‍රචාරාත්මක පෝස්ටර් එකක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිළියගේ චායාරුපයක් පසුබිමේ ඇත.

පළවෙනි පැය භාගයම වගේ නිකන් අමුතු විදියට කරන්න හදපු ටිපිකල් R rated ෆිල්ම් එකක් වගේ හැඟීමක් තිබුනේ. කොටින්ම ඈනුම් දෙක තුනක් ගිහින් ඇහැත් පොඩ්ඩක් පිය වුණා.  

ටිකක් වෙලා යද්දී පොඩි වෙනස් ගතියක් දැනෙන්න පටන් ගත්තත් හැබැයි මේ ඉතින් අපේ අසරණ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ අසහනය පෙන්නන තවත් එක විදියක්දො කියලත් හිතුනා. නළු නිළියන්ගේ රඟ පෑම් ඇති විශිෂ්ටයි කියන්න බෑ. හැබැයි අර අලුත් නිළියට නම් සම්මානයක් දෙන්න වටිනවා ඒ වගේ චරිතයක් කරපු එකට. (ඒ නිළිය අලුත් දැයි මම නොදනිමි. මම මුල් වරට ඇය දුටුවේ ඒ ෆිලිම් එකෙනි)

කතාව ගලාගෙන ගිහින් අමුතු අමුතු සිද්දි මතු වෙලා එද්දී ඔන්න පොඩ්ඩක් පුටුවේ හරි බැරි ගැහිලා බලන්න හිතුනා. මාත් එක්ක එකට ඉඳන් බලපු අපේ ලොකු මස්සිනා නම් මට වැඩිය උනන්දුවෙන් කතාව බැලුවා.

"අනේ මන්ද ටිකක් කොලොප්පන් වගේ නේද?"  මම උගෙන් ඇහුවා. "හඳගමයා හදන කතා කොහොමත් ඔහොමනෙ.. මට නම් හැබැයි අල්ලලා යනවා.." 

"ඒ කියන්නේ ප්‍රොෆෙසර් කාරයා මේ කෙල්ලට සිරාවට ලව් ද?"

"එහෙම කියන්නත් බෑ හැබැයි .. එහෙම නෑ කියන්නත් බෑ... " ඌ නිකන් උපුල් ශාන්ත සන්නස්ගල වගේ උත්තරයක් දුන්නා..

හැබැයි ඉතින් නොකියාම බැරි දෙයක් තමයි ශෘන්ගාර රසයක් නම් මට දැනුනේ නෑ ඒ මොනම සීන් එකක වත්.. එක්කෝ ඒවා හරියට කරන්න තරම් අපේ නළු නිලියෝ තාම විවෘත මදි. එහෙම නැත්නම් අපි හෙන වල්..  ඒ නිසා අපිට ඒවා මදි.

කතාවේ ලස්සන දෙබස් ටිකක් තිබුනා. කෙල්ල ගානට දිවේ කටේ ගෑවෙන්නේ නැතිව ලස්සනට කියනවා. අන්න ඒවා නම් අපේ කමට නියමෙටම තියෙනවා. මට මතක් වුනේ මචං ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරා අර Air Port එකේ දී හොඳට හිනා වෙලා "හු%$%$#%$ කියල මාරු වෙලා යන සීන් එක. හෙහ් හෙහ්..

හරි කතාවේ සිද්දි ටික කියල නිකන් ස්පොයිල් කරන්න ඕනේ නෑනේ.  ආරම්බය සහ අවසානය එකට ගෙනල්ල කතාව නතර කරනවා. 

මම තේරුම් ගත්ත විදියට කතාව ඇතුලේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන දෙකේ පන්තියේ ශෘන්ගාරෙවත්, හැම කෙනාම පට්ට ගහන අපේ මිනිස්සුන්ගේ අසහනෙවත් නෙවෙයි.

මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා කියන බඹරෙකු සහ නෙලාගනු බැරි හන්තාන සිහිනයක් දකින කෙල්ලෙකුට මැදි වෙච්ච ලා දළු බෝපත් සෙමින් සලන යශෝදරා දේවියක්. අන්තිමට දුවේ නුඹ මගේ ප්‍රාණයයි තරම් වෙච්ච පිතෘ සෙනෙහසකුත් මට එකේ පෙනුනා. 

හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැතිවුනාම පිරිමියෙකුට තියෙන ආතල් එක කොහොම ද කියන එකත් අපුරුවට පෙන්නුම් කරලා තියෙනවා. 

ෆිල්ම් එක පටන් ගද්දි ප්‍රොෆෙසර් Let her cry කියන එක කොච්චරක් දුරට මේ ෆිල්ම් එකට ගැලපෙනවද කියල අන්තිමේදී හිතුනා. 

ෆිල්ම් එක බලල ඉවර වුනාම හිතුනේ හඳගම කියන්නේ සිරා පොරක් කියන එක.  සිංහල ෆිල්ම් එකක් බැලුවම නැවත හිතන්න දෙයක් තියෙන්නේ ගොඩක් කලාතුරකින්. මට නම් මේ ෆිල්ම් එකේ නැවත නැවත හිතන්න බොහෝ දේ තිබුනා. 

අපේ සිනමාවේ ගත යුත්තක් නෑ කියල හිතුන ගතිය ටිකක් මග ඇරිලා ගියා මේ ෆිල්ම් එක බැලුවහම. ඇත්තටම ගත යුත්ත මිනිස්සුන්ට පෙන්නන විදිය කොච්චර වැදගත් ද කියල හිතුනා. මේ ෆිල්ම් එක ලංකාවේ තහනම් කලාද කියල මම දන්නේ නෑ.. හැබැයි එහෙම තහනම් නොවෙන විදියටත් මේ ෆිල්ම් එක හදන්න තිබුනා කියල මට හිතුනා. ඔය තහනමට හේතු වෙන සීනි බෝල කෑලි වලින් ෆිල්ම් එකට හොදක් වෙලා නෑ කියන එකයි මගේ අදහස. මොකද ඇකිලිලා තියෙන ඒවා ඇකිලිලාම තියෙන හින්ද ෆිල්ම් එක පුරාවටම.. හැබැයි ෆිල්ම් එකෙන් අපේ ඔළුව කෙලින් කරලා අපිට අපේ මිනිස්සුන්ගේ තියෙන වටිනා කම් ගැන හිතන්න දෙයක් ඉතුරු කිරීම සියල්ලටම වඩා වටිනවා.

ප.ලි

මේ ෆිල්ම් එක මම බැලුවේ NetFlix එකේ. කැමති කෙනෙකුට මාසයක් නොමිලේ දෙන NetFlix සේවාවෙන් බලන්න පුළුවන්. සල්ලි ගෙවන්න අකමැති නම්. මම හිතන්නේ ලංකාවේ තහනම් වෙන ෆිල්ම් ඉස්සරහට අපිට කරදරයක් නැතිව බලන්න පුළුවන් වෙයි. 

Monday, November 21, 2016

ඔරිජිනල් අපි


හරිම සංකීර්ණ තත්වයක්. කොච්චර ට්‍රයි කලත්  ගොඩ දා ගන්න බැරි තරමට ම  තත්වය දරුණු වෙලා. වෙච්ච සිද්දිය මම කෙටියෙන් කියන්නම්කො..

ඔන්න මම බොහොම පාඩුවේ අහිංසක ළමයා වගේ අම්මයි තාත්තයි කියන දෙයක් අහගෙන ඉස්කෝලේ ටීචර් ල සර් ලා කියන දෙයක් අහගෙන අවුරුදු 10-12ක් ගෙවල දැම්මා.. ඒ කාලේ මට ඔය "මගෙන්" ඒ හැටි කරදරයක් තිබුනේ නෑ.. මට ඕනේ නම් සෙල්ලම් කළා, ඕනේ නම් කාටුන් බැලුවා, ඕනේ නම් චිත්‍රයක් ඇන්දා, පොතක් පත්තරයක් කියෙව්වා,  සිංදුවක් කිව්වා.. දෙන දෙයක් කාලා  ඔහේ හිටියා. ලෙඩක් දුකක් හැදුනම අම්මයි තාත්තයි බලා ගත්ත.  ඒ හැටි අවුලක් තිබුනේ නෑ.. කොටින් ම කිසි මට මම ගැන කිසිම හැඟීමක් වත් තිබුනේ නෑ... ඔය ඉස්කෝලේ කොල්ලෝ එක්ක තිබ්බ පොඩි පොඩි වලි, ඊට පස්සේ ඔය එක පුංචි කෙල්ලෙක් ගැන හිතේ පොඩිම පොඩි මෙව්වා එකක් වගේ එකක් තිබුනා වගේ දේවල් ඇරුනම කිසිම ලොකු ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ගෙදරදී තිබ්බ ලොකුම ප්‍රශ්නේ අක්කත් එක්ක ටි වී බලන එක.. ඒ යකා මට වැඩිය අම්බානක් වයස වීම මට මල වදයක් වෙලා තිබුනේ..මට ඕනේ කාටුන් එකක් බලන්න විදියක් නෑ...  හැබැයි ඉතින් අනිත් අතින් ඒ දවස් වල සබ්ටයිටල් දාපු ඉංග්‍රීසි කතා වල සබ්ටයිටල් ටික මට කියවල දීලා උදව් එහෙම කරන හින්ද මට වැඩිය අක්කට විරුද්ද වෙන්න විදියක් තිබුනෙත් නෑ.. 

කොහොම හරි අවුරුදු 15-16 වගේ වෙද්දී ඔන්න ඉතින් ටික ටික මේ "මම" මට වද දෙන්න පටන් ගත්තා.. එක එක විභාගයි, ඔය ගෑනු ළමයි ගැන ප්‍රශ්නයි, ලොකු වුනාම මොනවාද කරන්නේ කියන ඒවයි අනම් මනම් හැටක් විතර ටික ටික ඔළුවට දාන්න  ගත්තා.. කොටින් ම පොඩි කාලේදී හිතන් ඉන්න "මම ලොකු වුනාම මෙන්න මෙහෙම වෙනවා කියන එක" පොඩ්ඩක් විතර විහිළු සහගත දෙයක් නේද ඔය කිව්වට ඕවා කරන්න ලේසි නෑ වගේ එකක් ටික ටික ඔළුවට දැම්ම.. ඒ අස්සේ මේ හොර්මොනත් පිස්සු කෙලින්න ගත්තම වැඩේ තවත් බරපතල වුණා. හැබැයි ඉතින් මොන දේටත් ඒ අම්මයි තාත්තයි හිටපු නිසා ලොකු අවුලක් වුනේ නෑ..

අම්මයි තාත්තයි එක්ක කියන්න බැරි වෙලා තිබ්බ එකම දේ වෙච්ච ඔය කෙල්ලන්ගේ හුට පට ටිකත් යාලුවෝ මාර්ගයෙන් පොඩ්ඩක් ශේප් කර ගත්තා.. හැබැයි මට අපේ නංගිගෙන් ඒ දවස් වල ඒ සබ්ජෙක්ට් එකට ෆුල්ම සපෝර්ට් එකක් තිබුනේ. නංගිගෙයි මගෙයි වයස ගැප් එක අවුරුදු 2ක් විතර නිසා දෙන්නම එකම වගේ.. අපි දෙන්න අතර රහස් නෑ. යාලු පිට් එක තමයි තිබුනේ. ගානට වැඩේ කරගෙන යන්න ෆුල් සපෝර්ට් එක දුන්නා. 

වැඩිය චාටර් එකක් නැතිව 18ට පන්න ගත්තා කියමුකෝ. අපරාදේ කියන්න බෑ හෝර්මෝන අවුල් වලටත් ඒ දවස් වල වීඩියෝ සෙන්ටර් වල හිටපු අයියල ගාව බෙහෙත් තිබුනා.. ඉතින් එකත් මහ ලොකු අවුලක් වුනේ නෑ.. අනිත් එක "අඩෝ වරෙන් $%$%^"  කියපු ගමන් බයිසිකල් කටුවක නැගල කඩාගෙන බිඳගෙන එන්න යාලුවෝ කීප දෙනෙක් හිටපු හින්ද ඒ සම්බන්ද ප්‍රශ්න ඒ ඒ වෙලාවල් වලදීම විසඳගන්න පුළුවන් වුණා.. 

හැබැයි ඔන්න ඔය කාලේදී "මම" බලවත් වෙලා හිටියේ.. මට "මම" කියන දේ අහන්න සිද්ද වුණා අනිත් අය කියන දේට වඩා.. කොටින් ම මට තේරුනා මට හරියටම හරි යන දේ මේ "මම" මට කියනවා නේද කියල. කොටින්ම ඒ දවස් වල අනිත් හැමෝටම ඕනේ වුනේ විභාගේ හොඳට පාස් වෙලා කැම්පස් යන්න. මටත් එහෙම ඕනේ වුනාට මේ "මම" දවසක් මට තේරුම් කරලා දුන්න උඹට ඕක හරි යන මගුලක් නෙවෙයි උඹ උඹ කැමති දේ උඹට ඕනේ විදියට කරපන්. අනිත් අය ඒ අයගේ විදියට කර ගනියි කියල.. අන්න එදා එදා ඉඳන් මම මේ "මම" කියන දේ විශ්වාස කරන්න පටන් ගත්තා. 

කොටින් ම අවුරුදු 18 විතර ඉඳල අවුරුදු 23 වගේ වෙනකම් මගේ "මම" උපරිම බලවත් වෙලා තිබුනේ. ඒ කාලේ මට ඕනේ දෙයක් කිරීමේ හැකියාව තිබුනා. හිත අලුත් අදහස් වලින් පිරිලා තිබුනා, තිබුන සීමිත දේවල් වලින් බොහෝ දේවල් කර ගත්තා. ගම, ගමේ මිනිසුන්, නගරය,  ප්‍රේමයේ චමත්කාරය, වේදනාව, මිතුරු කම්, ගැහැණු ළමයි, කවි,  කතා, නිසදැස්, චිත්‍ර, පරිගණක වැඩ ඕනේ එකක්. හැමදේම සුන්දරයි.. හිතන සැනින් අදහස් ගලාගෙන එන අපුරු කාලයක්. අනුන් වෙනුවෙන් අපේ කාලය,  අනුන්ගේ වැඩ, සල්ලි වලට සතපහක අගයක් දුන්නේ නෑ. පරිසරය ගහකොළ හරිම අපුරුවට පෙනුනා.  ලෝකයම දිනන ශක්තියක් ඇඟේ තිබුනා. 

ඔය කාලයෙන් මම නෙලා ගත් අග්‍ර ඵලය තමයි මට ලියන්න හැකියාවක් තියෙනවා කියන එක තේරුම් ගැනීම. ඒ හැකියාවේ එක ඉමක් දක්වා "මම" මාව ගෙනිච්චා. 

ජිවිතයේ කිසි දෙයක් ස්ථිර නෑ කියන එක නැවතත් පසක් කරමින් සිදුවූ තාත්තාගේ වියෝව නිසා කඩා වැටුණු ජිවිතයට මුහුණ දෙන්න, ඒ ජීවිතය යලි ගොඩ නගන්න මට "මම" සෑහෙන පිහිට වුණා. අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම" විතරක් කියන එක මට හොඳටම තේරුම් ගියා.  අවසානයේ ප්‍රිය විප්පයෝගයෙන්  දැනුන මහා දුකේ හේතුවත් මා තුල ඉන්න "මම" කියල තේරුම් ගැනීම දක්වාත් ඒ "මම" මාත් එක්ක හිටියා.

සියල්ල උඩු යටිකුරු වෙන්න ගත්තේ අවුරුදු 23 දී පළවෙනි රස්සාවට ගියාට පස්සේ. එතනදී මට "මම" කියන දේ අහන්න විදියක් තිබුනේ නෑ. මොකද රස්සාව කරන්න ඕනේ වුනේ අනුන්ට ඕනේ විදියට. අනුන්ට ඕනේ විදියට වැඩ කලාම ඒ අනුන් මට සල්ලි දුන්න. මුල් කාලේදී හරි ජොලි. මොකද මට ඕනේ වෙච්ච දේවල් "මම" මට පැහැදිලි කරලා දුන්නට ඒවා කරන්න ඕනේ කරන සල්ලි බාගේ දුන්නේ අනුන් නිසා මේ අනුන්ට වැඩ කිරීම වාසි දායක දෙයක් වුණා. මුල් කාලේදී මම සහ "මම" බොහොම සතුටින් හිටියා. හැබැයි ටික ටික "මම"  මට අවවාද  කළා උඹ ට උඹ නැති වෙන්න යන්නේ පරිස්සමින් හිටපන් කියල. මම ඒවා ඒ හැටි ගණන් ගත්තේ නෑ.. 

ටිකෙන් ටික කාලය ගත වුණා. අනුන් මගේ ඔළුවට විවිධ දේවල් පුරවන්න පටන් ගත්තා. ඒ පුරවපු දේවල් වලින් සල්ලි හම්බ කරන විදියත් අනුන් මට කියල දුන්න. බොහෝ අලුත් මිනිසුන් , අලුත් කෙල්ලන්, අලුත් ප්‍රේමයන්, අලුත් වේදනාවන් හමු වුණා. ඒ හැම දේම ලෞකික සහ සමාජීය කියන සාධක දෙක ඇතුලෙම දිය වෙලා ගියා මිසක් ඒ කිසි දේකින් අලුත් දෙයක් හිතන්න ඕනේ කමක් මට තිබුනේ නෑ. මා තුල හිටපු "මම" ටිකෙන් ටික අක්‍රිය වෙන්න පටන් ගන්න බවක් දැනුනත් භෞතික සාධක නිසා මම ඒ හැටි ඒක ගණන් ගත්තේ නෑ.. 

රස්සාවන් මාරු වුණා. ජීවිතය වෙනස් වුණා. මා තුල හිටපු "මම" වෙනුවෙන් මෙලොව ඉපදුනු මගේ අනිත් "මම" හමු වුණා බොහොම අපුරු විදියට. ජීවිතය අලුත් වුණා. "මම" සතුටු වුණා. මින්පසු ජීවිතය ඇය වෙනුවෙන් ජිවත් වීමට පටන් ගත්තා. හැමදේම හොඳින් සිද්ද වුණා. මම සතුටු වුණා හැබැයි ටිකෙන් ටික මට "මාව" අමතක වෙන්න පටන් ගත්තා.

රස්සාව වෙනස් වුණා. ජිවත් වෙචච පරිසරය වෙනස් වුණා. මා තුල හිටි "මම" සැරෙන් සැරේ සියුම් ලෙස අවදි වුනත් මට ඒ ගැන වැඩි අවදානයක් යොදන්න බැරි වුණා. 

අපි තාවකාලිකව රට මාරු කළා. බොහෝ අලුත් දේ ලැබුනා. අලුත් ජිවිතයක්, අලුත් පරිසරයක්,අලුත් සමාජයක්, අලුත් මිතුරන්, හැමදේම සැපවත් වුණා. හැමදේම හොඳින් සිද්ද වෙනකොට කොහේ හෝ තැනකින් ඒ හොඳ වෙනුවෙන් යම් මිලක් ගෙවන්නත් සිද්ද වුණා. ජිවිතයේ හැම සැපක් පසු පසම ගොනා පසු පස එන කරත්ත රෝදය වගේ යම් දුකකුත් එන බව මනාව පසක් කරමින් ඒ සැප සමග අපි යාන්ත්‍රික , ඒකාකාරී ජිවිත රාමුවක් ඇතුලේ හිර වුණා.

හැබැයි සුව දායි ජීවිතය නිසා ඒ රාමුවේ ඇති පීඩාකාරී බව එතරම් දැනුනේ නෑ. හැබැයි මට "මම" ජිවිතයේ කියා දුන්නු වැදගත්ම පාඩම වෙච්ච මට ඕනේ විදියට ජිවත් වීමේ ක්‍රමය ටිකෙන් ටික අහිමි වුණා. මොකද දවසේ හොඳම කාලය යාන්ත්‍රිකව වැඩ කරන මිනිසුන් පිරිසක් සමග වැඩ කිරීමටත් , ඉතිරි කොට ඒ වැඩ කිරීමේ වෙහෙස නිවීමටත් ගෙවා දමන්නට වූ නිසා මම සහ "මම" හමු නොවී ජිවත් වීමට සිද්ද වුණා. නමුත් පැය විසි හතරම ඇය මා සමග සිටීම නිසා මට "මම" නොමැති අඩුව එතරම් දැනුනේ නෑ.

අනුන් වෙනුවෙන් වැඩ කිරීම නිසා අනුන් විසින් ඔළුවට පුරවන දේවල් වලින් ටිකෙන් ටික වැසි ගිය "මම" විටෙන් විට අමාරුවෙන් මතු වී ආවත් වැඩි කාලයක් මා සමග රැඳී සිටිමට "මට" නොහැකි වුණා. 

හිත පුරා ගලා ගිය නිදහස් අදහස් ටිකෙන් ටික යාන්ත්‍රික වෙලා නැති වෙලා ගිහින්. බොහෝ වෙලාවට එලියට එන අදහස් කුමක් හෝ භෞතික සාධකයක් මුලික කරගෙන එන දෙයක් මිස නිවහල් නිදහස් අදහස් නොවන බව මට වැටහෙන්න පටන් ගත්තා. 

මගේ ජීවිතයත් අනුන්ගේ ජිවිතත් සැපවත් කිරීමේ මිල විදියට මට මා තුල සිටි ඔර්ජිනල් "මම" කැප කරන්නට සිදු වී ඇති බව ටිකෙන් ටික වැටහුනා. 

අනුන් වෙනුවෙන් මුදල් පතා වැඩ කිරීම අපව සම්පුර්ණයෙන් ම රාමු  ගත කරපු, විකෘති චරිත බවට පත් කරන ආකාරය දැන් මට මැනවින් පසක් වෙලා. ඒ සියල්ලට ගත වුනේ අවුරුදු 12ක් විතර. 

දශකයක් රස්සාව කරන කොට අපි වෙනස් වෙන විදිය හරිම පුදුමයි. ඒ වෙනස නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක අපේ ඔරිජිනල් ජීවිතය නෙවෙයි. අනුන් විසින් ප්ලෑන් කරපු ජිවිතයක් අස්සේ අපි හිර වෙනවා. ඒ ජිවිතයේ සැප තියෙනවා. හැබැයි ඒ සැප ඇතුලේ මහා දුකකුත් තියෙනවා. ඒ දුක සැරෙන් සැරේ අපිට දැනුනත් ලැබෙන සැප නිසා අපි ඒ දුක නොසලකා හරිනවා. 

පුංචි සියුම් දේවල් වල තියෙන රසය විඳීම අපිට දැන් අමතක වෙලා. ඒ රසය විඳීමේ අරුත අපි හොයන්න පටන් අරන්. අරුත හොයන්න ගිහින් අපිට රස විඳීම අමතක වෙලා.

අපි තව දුරටත් ඔරිජිනල් නෙවෙයි. අපි ඇතුලේ හිටපු ඔරිජිනල් "අපි" අපිව දාල ගිහින්.



ගුග්ල් වලින් සොයා ගත් පින්තුරයක්. 
I'm Simply Me and that is all I need to be යනුවෙන් සඳහන් වී ඇත.